ගීතාවලිය 91:1-16 SINRV2006 - Bible AI

1පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය.

2ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.”

3එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක.

4සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය.

5රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.

6අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය.

7දහසක් ඔබේ වම් පසින් ද දස දහසක් ඔබේ දකුණු පසින් ද වැටෙන්නෝ ය. එහෙත්, පීඩාවක් ඔබට නම් ඇති නොවන්නේ ය.

8ඔබේ ම දෙනෙතින් මේ සියල්ල ඔබ දකින්නෙහි ය. දුදනන්ට වන දඬුවම ඔබ නරඹන්නෙහි ය.

9ඔබ, සමිඳාණන් තුළ ඔබේ රැකවරණය තැබුවෙහි ය. පරමෝත්තමයාණන් ඔබේ වාසභවනය කරගත්තෙහි ය.

10එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය.

11ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක.

12ඔබ දෙපා, ගල්වල නොහැප්පෙන පිණිස, ඔව්හු සිය’තින් ඔබ උසුලාගන්නෝ ය.

13ඔබ, සිංහයෙකු වුවත්, සර්පයෙකු වුවත් පාගන්නෙහි ය; ඔබ කේශර සිංහයෙකු වුවත්, මකරෙකු වුවත් පාගා දමන්නෙහි ය.

14සමිඳාණෝ මෙසේ වදාරන සේක: “ඔහු මට ප්‍රේම කරන්නේ නම්, මම ඔහුට විමුක්තිය දෙන්නෙමි. ඔහු මාගේ නාමය පිළිගන්නේ නම්, මම ඔහු රැකගන්නෙමි.

15ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.

16දිගායු දී ඔහු සතුටු කරන්නෙමි. මාගේ ගැළවීම මම ඔහුට සපුරා දක්වන්නෙමි.”

>