ගීතාවලිය 92:1-15 SINRV2006 - Bible AI

1සබත් දින ගායනය සඳහා ය. සමිඳුනි, ඔබට තුති පිදීම හොබනේ ය; මහෝත්තමයාණෙනි, ඔබේ නාමය වර්ණනා කිරීම යහපත් ය.

2උදෑසන ඔබේ පෙම පැවසීම හොබනේ ය. රෑ යාමයේ දී ඔබේ විශ්වාසවන්තකම පැවසීම යහපත් ය.

3තත් දසයේ වීණාවේ හා කුඩා වීණාවේ වාදන මඟින් ද මහ වීණාවේ තනුවට ද ඔබේ ගුණ වැණීම හොබනේ ය.

4සමිඳුනි, ඔබේ වීර ක්‍රියාවෝ මා සතුටට පත් කරන්නෝ ය. ඔබේ දෑතෙහි ක්‍රියා ගැන මම තුති ගී පවසමි.

5ඔබේ ක්‍රියා කොපමණ උත්තරීතර ද? ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?

6මෝඩ මිනිසා මේ ගැන නොදන්නේ ය; අනුවණයන්ට මෙය තේරුම්ගත නොහැකි ය.

7දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.

8එහෙත් සමිඳුනි, සදාකාලයට ම ඔබ මහෝත්තමයාණෝ ය.

9අහෝ සමිඳුනි! ඔබේ සතුරෝ එසේ ය, ඔබේ සතුරෝ වනසනු ලබන්නෝ ය. සියලු නපුරුකම් කරන්නෝ විසුරුවනු ලබන්නෝ ය.

10ඔබ මා කුළු හරකෙකු මෙන් ශක්තිමත් කළ සේක; ඔබ නව තෙලින් මා ආලේප කළ සේක.

11මාගේ සතුරන්ගේ පරාජය මම දෑසින් දුටුවෙමි. දුදනන්ගේ දුක් විලාපයට සවන් දිනිමි.

12දැහැමියෝ තාල වෘක්ෂ මෙන් සරුසාර වන්නෝ ය; ලෙබනොන්හි කිහිරි ගස් මෙන් වැඩෙන්නෝ ය.

13සමිඳුන්ගේ නිවෙසෙහි ඔබ ඒවා රෝපණය කළ සේක. දේව මණ්ඩපයෙහි ඒවා සරු ලෙස වැඩෙන්නේ ය.

14වයස ගිය පසු පවා ඒවා පලදාව දෙන්නේ ය; සාරවත් ව නිල් පැහැ ව ඒවා පවතින්නේ ය.

15එසේ වන්නේ, සමිඳාණන් සාධාරණ බව ද මාගේ ආරක්ෂකයාණන් තුළ වරදක් නොමැති බව ද දක්වනු පිණිස ය.

>