ගීතාවලිය 96:1-13 SINRV2006 - Bible AI

1සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.

2සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.

3විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.

4සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමන්ට ගරුබිය පෑ යුතු ය.

5ජනතාවගේ සියලු දෙවිවරු පිළිම පමණකි; සමිඳාණෝ ම දෙව් ලොව මැවූ සේක.

6ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය; ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය.

7සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න.

8සමිඳුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න; පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න.

9සමිඳුන් අබිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න; ලෝ වැසි සියල්ලෙනි, එතුමන් අබිමුව බියෙන් ඇලළී සිටින්න.

10විජාතීන් අතර මෙසේ පවසන්න: “සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.

11සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා!

12කෙත්වතු සහ එහි ඇති සියල්ලත් ප්‍රීතිමත් වේ වා! එවිට වන රොදෙහි ගස්කොළන් ප්‍රීති නාද දෙන්නේ ය.

13සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”

>