ගීතාවලිය 98:1-9 SINRV2006 - Bible AI

1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.

2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක.

3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය.

4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.

5වීණාව වයමින් සමිඳුන්ට ගී ගයන්න; වීණාවෙන් ද ගී නාදයෙන් ද ප්‍රශංසා කරන්න.

6හොරණෑ හා නළා හඬින් ද රජාණන් වන සමිඳුන් අබිමුව ප්‍රීතියෙන් ගී ගයන්න.

7මුහුද ද එහි ඇති සියල්ල ද ගර්ජනා කෙරේ වා! ලෝකය ද එහි වැසියෝ ද ගී ගයත් වා!

8ගංගා අත් පොළසන් දේ වා! කඳු හෙල් එක් ව සමිඳුන් හට ප්‍රීති නාද දේ වා!

9මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.