1මාගේ සහෝදරයෙනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් වීමට නොසිතන්න. ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අපි වඩාත් බරපතල මිම්මකින් විනිශ්චය කරනු ලබමු.
2අපි සියල්ලෝ ම බොහෝ විට වරදට වැටෙමු. යමෙක් වචනයෙන් වරදක් නොකරන්නේ නම්, ඔහු මුළු ශරීරය දමනය කරගන්නට සමත්, සර්ව සම්පූර්ණ මනුෂ්‍යයෙකි.
3අශ්වයන් කීකරු කරගන්නා පිණිස උන්ට කටකලියා දැමූ විට අපි උන්ගේ මුළු ශරීරය ම දමනය කරගනිමු.
4නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි.
5එලෙස ම දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද?
6දිව ද ගින්නකි. එය අපේ ඉඳුරන් අතර, අදමිටුකමින් පිරුණු ලෝකයකි. එය මුළු ශරීරය දූෂණය කොට, නිරා ගින්නෙන් සකල ලෝකයට ගිනි දල්වයි.
7සියලු ආකාර වන මෘගයන් ද කුරුල්ලන් ද උරග ජාතීන් ද මුහුදු සතුන් ද පෙර මෙන් දැනුත්, මිනිසාට දමනය කළ හැකි ය.
8එහෙත් දිව දමනය කිරීම කිසිවෙකුට නුපුළුවන. එය හික්මවිය නොහැකි විෂඝෝර නපුරු ඉන්ද්‍රියයකි.
9
10ප්‍රශංසාවත් සාපයත් එක ම මුඛයෙන් නික්මෙයි. මාගේ සහෝදරයෙනි, මෙසේ වීම හරි නැත.
11දිය උල්පතේ එක සිදුරෙන් මිරිදියත් කරදියත් නික්ම එයි ද?
12මාගේ සහෝදරයෙනි, දිවුල් ගසේ රට වෙරළු වත්, මිදි වැලේ දිවුල් වත් හටගනී ද? කරදිය උල්පතෙන් මිරිදිය නික්මෙන්නේ නැත.
13ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා.
14එහෙත් ඔබගේ සිත්වල දැඩි ඊර්ෂ්‍යාව ද, උන්නතිකාමය ද, ඇත්නම් පුරසාරම් දොඩමින් සත්‍යයට විරුද්ධ ව ක්‍රියා නොකරන්න.
15එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණෙන්නක් නොවේ. එය ලෞකික ය, කාමුක ය, අමානුෂික ය.
16මන්ද, ඊර්ෂ්‍යාවත් උන්නතිකාමයත් කොතැන ද එතැන අවුල්වියවුල් ද සියලු නපුරු ක්‍රියා ද ඇත්තේ ය.
17එහෙත් ලෝකෝත්තර ප්‍රඥාව පළමුකොට නිර්මල ය, ඊළඟට සාමකාමී ය, සානුකම්පිත ය, යුක්ති සහගත ය; එය දයාවෙන් හා යහපත් ඵලවලින් පූර්ණ ව, පක්ෂවාදිකමින් ද කුහකකමින් ද තොර ව පවතී.
18සැබෑ දමිටුකම වූකලී සාම දූතයන් සාමයෙන් වපුළ බීජවලින් නිපදවන අස්වැන්නකි.