1ජුදාහි රජ වූ ශෙදෙකියාගේ රජකමේ නව වන අවුරුද්දේ දස වන මාසයේ දී බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් තෙමේ තමාගේ මුළු සේනාව සමඟ ජෙරුසලමට විරුද්ධ ව අවුත් එය වටලාගත්තේ ය.
2ශෙදෙකියාගේ එකළොස් වන අවුරුද්දේ සතර වන මාසයේ නව වන දින නගර පවුර බිඳින ලද්දේ ය.
3ජෙරුසලම අල්ලාගනු ලැබූ පසු, බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම්, නේර්ගල්-ෂරෙශෙර් ද සම්ගර්-නෙබෝ ද සර්සෙකිම් ද රබ්-සාරිස් ද තවත් නේර්ගල්-ෂරෙශෙර් නමැත්තෙක් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහු ද අවුත් මැද දොරටුවේ හිඳගත්තෝ ය.
4තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා ද සියලු හේවායෝ ද ඔවුන් දුටු විට, පවුරු දෙක අතරේ තිබෙන දොරටුවෙන් රජ උයන මැදින් යන පාරෙන් නගරයෙන් පිටත් ව රාත්‍රියේ පලා ගියෝ ය. ඔව්හු අරබා සමභූමියේ මාර්ගය බලා නික්ම ගියෝ ය.
5එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ඔවුන් ලුහුබැඳ ගොස්, ජෙරිකෝවේ සමභූමිවල දී ශෙදෙකියාට ළං වී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් වෙත ඔහු ගෙන ගියෝ ය. ඔහු ද ඔහු ගැන තීන්දුව දුන්නේ ය.
6බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහි දී ඔහුගේ ඇස් ඉදිරිපිට මැරී ය. බබිලෝනියේ රජ ජුදාහි සියලු උත්තමයන් ද මැරවී ය.
7තවද, ඔහු ශෙදෙකියාගේ ඇස් උගුලාදමා, ඔහු බබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැමවී ය.
8බබිලෝනිවරු රජ මැදුර සහ සෙනඟගේ ගෙවල් ගිනි ලා, ජෙරුසලමේ පවුරු කඩාදැමුවෝ ය.
9තවද, රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්, නුවර ඉතිරි ව සිටි සෙනඟ ද පලා අවුත් තමාගේ සෙනඟට එකතු වූ අය ද සෙනඟගෙන් ඉතිරි වූ අනෙක් අය ද අල්ලා බබිලෝනියට ගෙන ගියේ ය.
10එහෙත්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් කිසිත් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ජුදා දේශයෙහි ඉතිරි කර තබා, ඔවුන්ට මිදි වතු සහ ඉඩම් ද දුන්නේ ය.
11ඉන්පසු බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් රජ තෙමේ ජෙරමියා ගැන රැකවල් සේනාවේ අධිපතියා වූ නෙබුසරදාන්ට අණ කරමින්,
12“ඔබ ඔහු රැගෙන, ඔහු හොඳට රැක බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු ඔබට කියන හැටියට ම ඔහුට කටයුතු කරන්නැ”යි කීවේ ය.
13මෙසේ රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ද නෙබුෂශ්බාන් ද රබ්-සාරිස් ද නේර්ගල්-ෂරෙශෙර් ද රබ්-මග් ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු ද
14ජෙරමියා රැකවල් මළුවෙන් ගෙන්වාගෙන ඔහු ගෙදරට ගෙන යන පිණිස ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර කළෝ ය. ජෙරමියා සෙනඟ අතරේ වාසය කෙළේ ය.
15ජෙරමියා රැකවල් මළුවේ හිර අඩස්සියේ සිටිද්දී, සමිඳාණන් වහන්සේ ඔහුට කතා කරමින්, එතියෝපීය එබෙද්-මෙලෙක්ට මෙසේ කියන්නට වදාළ සේක:
16“බලන්න, මා කී පරිදි මම මේ නගරය පිට සැපත නොව විපත පමුණුවන්නෙමි. ඒ දවසේ දී මේවා නුඹ ඉදිරියෙහි ම සිදු වනු ඇත.
17එහෙත්, ස්වාමීන් වන මම ඒ දවසේ දී නුඹ ගළවන්නෙමි. නුඹ බිය ව සිටින මිනිසුන්ගේ අතට නුඹ පාවා නොදෙනු ලැබේ.
18සැබැවින් ම මම නුඹ මුදාගන්නෙමි. නුඹ කඩුවෙන් මරනු නොලබන්නෙහි ය. නුඹ මා කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ පණ බේරාගෙන ගැළවෙන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”