1
2එවිට නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කළා වූ ෂාපාන්ගේ පුත් වන අහිකාම්ගේ පුත් ගෙදලියාට කඩුවෙන් පහර දී ඔහු මැරුවෝ ය.
3තවද, ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු ජුදෙව්වරුන් ද එහි ඒ අවස්ථාවේ සිටි බබිලෝනීය යුද්ධ භටයන් ද මැරුවේ ය.
4ගෙදලියා මරනු ලැබූ දිනට පසු දින කිසිවෙකු ඒ ගැන දැනගන්නට පෙර,
5ෂෙකෙම්හි ද ෂිලෝහි ද සමාරියේ ද සිටි මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාගෙන, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පුද කරන පිණිස ආහාර පූජා ද ගන්ධරස ද රැගෙන ආහ.
6නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිශ්පා සිට පිටත් වී අඬ අඬා ඔවුන් පෙරමඟට ගියේ ය. ඔවුන් මුණගැසුණු විට, “අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට පැමිණෙන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.
7ඔවුන් නගරය මැදට පැමිණි විට, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිස්සු ඔවුන් මරා වළකට හෙළූ හ.
8එහෙත්, ඔවුන් අතරෙහි සිටි මිනිසුන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කතා කොට, “අප නොමරන්න. මන්ද, කෙතෙහි සඟවා තිබෙන තිරිඟු ද යව ද මී පැණි ද තෙල් ද අප ළඟ තිබේ ය”යි කී හ. එවිට ඔහු ඔවුන් ද ඔවුන්ගේ සහකාරයන් ද නොමරා ඉතුරු කෙළේ ය.
9ඉෂ්මායෙල් තමා විසින් මරන ලද මිනිසුන් හෙළාදැමූ වළ විශාල එකකි. එය ආසා රජු විසින් ඉශ්රායෙල්වරුන්ගේ රජු වූ බයෙෂාගෙන් ආරක්ෂා වන පිණිස සාදන ලද වළ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තමා මැරූ අයගේ මළකඳන්වලින් ඒ වළ පිරෙව්වේ ය.
10තවද ඉෂ්මායෙල්, සෙනඟගෙන් ඉතිරි වී මිශ්පාහි සිටි සියල්ලන් එනම්, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර දෙන ලද රාජ කුමරිකාවන් ද මිශ්පාහි ඉතිරි ව සිටි මුළු සෙනඟ ද සිරබාරයට ගත්තේ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන්වරුන්ගේ දේශයට යන්නට පිටත් විය.
11එහෙත්, කාරේයාගේ පුත් ජොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීහු ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් කළ සියලු අපරාධ ගැන අසා,
12සියලු මිනිසුන් රැස් කරගෙන නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්ට විරුද්ධ ව යුද්ධ කරන්න පිටත් වූ හ. ඔහු ගිබියොන්හි තිබෙන මහා ජලාශය ළඟ දී ඔවුන්ට මුණගැසුණේ ය.
13එවිට ඉෂ්මායෙල් සමඟ සිටි මුළු සෙනඟ කාරේයාගේ පුත් ජොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන් ද දුටු විට සන්තෝෂ වූ හ.
14මිශ්පාහි සිට ඉෂ්මායෙල් අල්ලාගෙන ගිය මුළු සෙනඟ නැවත හැරී කාරේයාගේ පුත් ජොහානාන්ට එකතු වූ හ.
15එහෙත්, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිනිසුන් අටදෙනෙකු සමඟ ජොහානාන්ගෙන් ගැළවී අම්මොන්වරුන්ගේ දේශයට පලා ගියේ ය.
16කාරේයාගේ පුත් ජොහානාන් ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝ ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියා මරනු ලැබූ පසු, මිශ්පාහි ඉතිරි ව සිටි, ඔහු කෙරෙන් ආපසු ගෙන යන ලද ඉතිරි ව සිටි මුළු සෙනඟ වන යුද්ධ භටයන් ද ස්ත්‍රින් ද දරුවන් ද නපුංසකයන් ද ගිබියොන් නගරයෙන් කැඳවාගෙන ගොස්,
17බබිලෝනිවරුන්ගෙන් ඈත් වී මිසරයට ඇතුළු වන්නට යන පිණිස බෙත්ලෙහෙම අසල තිබෙන ගෙරුත් කිම්හාම්ගේ නවාතැනෙහි නවාතැන් ගත්හ.
18එසේ කෙළේ, නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත් කරන ලද අහිකාම්ගේ පුත් ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට බිය වූ නිසා ය.