1ශෙදෙකියා විසිඑක් වයසේ දී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් ජෙරුසලමේ රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම හමුවල් ය. ඈ ලිබ්නාහි ජෙරමියාගේ දුව ය.
2ශෙදෙකියා රජු, ජෙහෝයාකිම් රජු කළාක් මෙන් සමිඳාණන් වහන්සේ අබිමුවෙහි නපුරු දේ කෙළේ ය.
3ජෙරුසලම හා ජුදාව සමිඳාණන් වහන්සේ බොහෝ සේ කෝප කළ බැවින් උන් වහන්සේ ඔවුන් තමන් අබිමුවෙන් පන්නා දැමූ සේක. ශෙදෙකියා ද බබිලෝනියාවේ රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ ය.
4
5එසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නගරය වටලන ලදුව තිබිණි.
6හතර වන මස නව වන දින දේශයේ සෙනඟට කිසි ආහාරයක් නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.
7
8එහෙත්, බබිලෝනිවරුන්ගේ සේනාව ශෙදෙකියා රජු ලුහුබැඳ ගොස් ජෙරිකෝවේ සමභූමිවල දී ඔහු අල්ලාගත්තේ ය. එවිට ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියෝ ය.
9එකල ඔව්හු රජු අල්ලාගෙන හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියෝ ය. ඔහු ද ශෙදෙකියා රජු පිළිබඳ නඩු තීන්දුව දුන්නේ ය.
10බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ම ඇස් ඉදිරිපිට මැරෙව්වේ ය. ඔහු ජුදාහි සියලු අධිපතීන් ද රිබ්ලාහි දී මැරෙව්වේ ය.
11
12තවද, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් රජුගේ දහනව වන අවුරුද්දේ පස් වන මස දස වන දින රජුගේ උපදේශකයා වූ ද රැකවලුන්ගේ අධිපතියා වූ ද නෙබුසරදාන් ජෙරුසලමට පිවිසියේ ය.
13
14හමුදාවේ සේනාධිපතියා සමඟ සිටි බබිලෝනිවරුන්ගේ මුළු සේනාව ජෙරුසලම හාත්පස තිබුණ පවුරු සියල්ල බිඳදැමුවෝ ය.
15තවද, රැකවලුන්ගේ අධිපතියා වූ නෙබුසරදාන් ඉතා දිළිඳු සෙනඟගෙන් සමහරෙකු ද නගරයේ ඉතිරි ව සිටි සෙනඟ ද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයට බැඳුණු අය ද සෙසු දක්ෂ ශිල්පීන් ද අල්ලාගෙන ගියේ ය.
16එහෙත්, මිදි වතු වවන්නටත්, ගොවිතැන් කරන්නටත් රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් දේශයේ දිළිඳුන් සමහරෙකු ඉතිරි කර ගියේ ය.
17
18ඇරත්, ඇතිළි ද හැඳි ද පහන් කතුරු ද තලි ද දුම් භාජන ද පූජාව සඳහා පාවිච්චි කළ ලෝකඩ බඩු සියල්ල ද ඔව්හු ගෙන ගියෝ ය.
19තලි, ගිනි භාජන, කුසලාන, ඇතිළි, පහන් රුක්, දුම් භාජන සහ කෙණ්ඩි යන රන් බඩුවල රන් ද රිදී බඩුවල රිදී ද හමුදාවේ සේනාධිපතියා ගෙන ගියේ ය.
20සලමොන් රජ සමිඳාණන් වහන්සේගේ මාලිගාවට සෑදූ කුළුණු දෙක ද ලෝකඩ තටාකය ද මැසි ද මැසි යට තිබුණු ලෝකඩ ගව රූප දොළොස ද යන භාණ්ඩ වල ලෝකඩ කිරන්නට බැරි තරම් බර ය.
21ඒ එක් එක් කුළුණේ උස මීටර් අටකි. ඒ වටේට මීටර් පහයි දශම තුනක පටියක් තිබුණේ ය. එහි ඝනකම මිලි මීටර් හැත්තෑපහක් ය. එහි ඇතුළ කුහරයක් විය.
22එය මත ලෝකඩ පේකඩයක් විය. එක එක පේකඩය මීටර් දෙකයි දශම දෙකක් උස විය. පේකඩය වටේට දෙළුම් ගෙඩිවලින් සරසන ලද කැටයම් රාමුවක් තිබුණේ ය. ඒ සියල්ල කරන ලද්දේ ලෝකඩින් ය. දෙ වන කුළුණත් ඒ අයුරින් ම දෙළුම් ගෙඩිවලින් සරසන ලදී.
23දෙළුම් ගෙඩි අනූහයක් පැතිවල තිබිණි. කැටයම් පිට වටේට තිබුණු දෙළුම් ගෙඩි සියයක් විය.
24තවද, රැකවල් සේනාවේ අධිපතියා, උත්තම පූජකයා වූ සෙරායා ද දෙ වන පූජකයා වූ ශෙපනියා ද දොරටු පාලකයන් තුන් දෙනා ද අල්ලාගත්තේ ය.
25ඉක්බිති ඔහු යුද්ධ සේනාවේ සේනාධිපතියා ද නගරයෙහි සිටි රාජ සභාවෙහි සභිකයන් සත්දෙනෙකු ද දේශයෙහි සෙනඟ රැස් කළ සේනාධිපතියාගේ ලේකම් ද දේශවාසීන්ගෙන් නගරය තුළ සිටි හැටදෙනෙකු ද අල්ලාගෙන ගියේ ය.
26රැකවලුන්ට අධිපතියා වූ නෙබුසරදාන් මොවුන් රිබ්ලාහි සිටි බබිලෝනියේ රජු වෙත ගෙන ගියේ ය.
27බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මැරෙව්වේ ය. මෙසේ ජුදාවරු සිය දේශයෙන් වහල්කමට ගෙන යන ලදහ.
28නෙබුකද්නෙශර් අල්ලාගෙන ගිය සෙනඟගේ ගණන මෙසේ ය: හත් වන අවුරුද්දේ දී ජුදෙව්වරු තුන්දහස් විසිතුන්දෙනෙකි.
29නෙබුකද්නෙශර්ගේ දහඅට වන අවුරුද්දේ දී, ඔහු ජෙරුසලමේ සිටි අටසිය තිස්දෙදෙනෙකු අල්ලාගෙන ගියේ ය.
30එනෙබුකද්නෙශර්ගේ විසිතුන් වන අවුරුද්දේ දී රැකවල් සේනාධිපතියා වූ නෙබුසරදාන් ජුදෙව්වරුන් හත්සිය හතළිස්පස්දෙනෙකු අල්ලාගෙන ගියේ ය. ඒ සියල්ලෝ ම හාරදහස් හයසියයක් වූ හ.
31තවද, එවිල්-මෙරොදක් බබිලෝනියේ රජකමට පත් වූ අවුරුද්දේ දී ඔහු ජුදාහි රජු වූ ජෙහෝයාකින්ට අනුකම්පා කොට හිරගෙයින් නිදහස් කෙළේ ය. මෙය සිදු වූයේ ජුදාහි රජු වූ ජෙහෝයාකින් ගෙනයනු ලැබූ තිස්හත් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ විසිපස් වන දා ය.
32එවිල්-මෙරොදක් රජ ජෙහෝයාකින්ට කරුණාවෙන් කතා කොට, බබිලෝනියේ ඔහු සමඟ සිටි රජවරුන්ට වඩා උසස් ස්ථානයක් ඔහුට දුන්නේ ය.
33එබැවින් ජෙහෝයාකින්ට ඔහුගේ හිරඇඳුම් මාරුකරගෙන, ඔහුගේ ජීවිතාන්තය දක්වා, එවිල්-මෙරොදක් රජු සමඟ නිතර ම මේසයේ එකට කන්නට අවසර ලැබුණේ ය.
34ඔහුගේ කෑම කොටස බබිලෝනියේ රජු වෙතින් නියම ලෙස දවස් පතා ම ජීවිතයේ මුළු කාලය තුළ ඔහුගේ මරණය දක්වා ඔහුට දෙන ලද්දේ ය.