1“බෙන්ජමින් වංශයේ ජනයෙනි, ආරක්ෂාව පිණිස ජෙරුසලමෙන් පලා යන්න. තෙකෝවාහි හොරණෑ පිඹින්න; බෙත්හක්කෙරෙම් මත සලකුණක් නඟන්න. මන්ද, විපත්තියක් ද මහා විනාශයක් ද උතුරෙන් ළඟා වන ලකුණු ඇත.
2ශෝභන, සිව්මැලි තැනැත්තියක වන සියොන් පුරඟන වනසනු ලබන්නී ය.
3එඬේරු සිය පට්ටි රැගෙන ඈට විරුද්ධ ව පැමිණෙති. ඔව්හු ඈ වටලා, සිය කූඩාරම් පිහිටුවා, තමන් රිසි සේ නිල් තණ කවන්නෝ ය.
4තවද, ඔවුන් කතා කොට, ‘ජෙරුසලමට විරුද්ධ ව සටනට සැරසෙන්න; නැඟිටින්න, ඉර මුදුන් වේලාවේ දී අපි පහර දෙමු’යි කියනු ඇත. එසේ වුව ද, ‘දැන් කල් වේලා ගත වී ඇත; දවාල පහ වී සවස සෙවණැලි වැටීගෙන එයි;
5සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති.
6“සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ජෙරුසලම වටලන පිණිස ගස් කපාගෙන බලකොටු සාදාගන්න. දඬුවම ලැබිය යුතු නගරය මෙය වේ. තාඩන පීඩන හැර අන් කිසිවක් එහි නැත.
7ළිඳකින් වතුර උනන සේ ජෙරුසලමෙන් නපුරුකම උනන්නේ ය. තාඩන පීඩන ගැන ආරංචි ඇසෙන්නේ ය; රෝගත්, තුවාළත් මට නිතර ම දක්නට ලැබේ.
8එම්බා ජෙරුසලම! මා නුඹෙන් වෙන් වී නොයන පිණිසත්, මා විසින් නුඹ පාළු, වැසියන් නැති දේශයක් කරනු නොලබන පිණිසත් මේ අනතුරු ඇඟවීම සිතට ගන්න.”
9සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාරන සේක: “කිසිත් ඉතිරි නොවන ලෙස ගොවියෙකු අතු සූරා මිදි පල එකතු කරන සේ, ඉශ්රායෙල්හි කිසිවක් ඉතිරි නොවන පරිදි ඔව්හු රැස් කරගනිති.”
10මම මෙසේ පිළිතුරු දිනිමි: “සවන් දෙන හැටියට මම කාට කතා කර අවවාද කරම් ද? ඔවුන් මුරණ්ඩු වී ඔවුන්ගේ කන් වසාගෙන ඇති බැවින් සවන් දෙන්නට ඔවුන්ට බැරි ය. සමිඳාණන් වහන්සේගේ වචනය ඔවුන්ට නින්දාවක් වී ඇත. ඔව්හු එයට ප්‍රිය නොවෙති.
11ඒ නිසා සමිඳුනි, මම ඔබේ කෝපයෙන් පිරී සිටිමි. එයින් මම වෙහෙසට පත් වී සිටිමි.” එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “වීදිවල සිටින ළමයින් පිටත්, තරුණයන්ගේ රැස්වීම් පිටත් මාගේ කෝපය වගුරන්න. පුරුෂයා භාර්යාව සමඟ ද මහලු අය ඉතා වයස්ගත අය සමඟ ද ගෙනයනු ලබන්නෝ ය.
12
13ඔවුන්ගෙන් කුඩා අය සිට ලොකු අය දක්වා සියල්ලෝ ම අයුතු ලාභ උපයා ගනිති: දිවැසිවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.
14
15ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
16
17මම ඔවුන් වෙත මුරකරුවන් සිටුවා, “හොරණෑ ශබ්දයට සවන් දෙන්නැ”යි කීවෙමි. එහෙත්, ඔව්හු, “අපි සවන් නොදෙන්නෙමු”යි කී හ.
18එබැවින් සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජාතීනි, සවන් දී මාගේ සෙනඟට සිදු වන්නට යන දේ ගැන දැනගන්න.
19එම්බා පොළොව! සවන් දෙන්න. මේ සෙනඟ මාගේ වචනවලට කීකරු නොවී, මාගේ ආඥා ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුන්ගේ උපායවලට නියම විපාකය වන විපත්තිය ඔවුන් පිට පමුණුවන්නෙමි.
20ෂෙබායෙන් කට්ටකුමංජල් ද දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාග ද මට ප්‍රිය නැත.
21එබැවින් නුඹලාගේ ස්වාමීන් වන මම, මේ සෙනඟ පැකිළී වැටෙන්නට සලස්වන බාධා පමුණුවන්නෙමි. පියවරුන් ද පුත්‍රයන් ද අසල්වැසියන් හා ඔවුන්ගේ මිතුරන් ද විනාශ වී යනු ඇත.”
22සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහා බලවත් ජාතියක් ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැඟිට එනු ඇත.
23ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲර ය, නිර්දය වෙති. ඔවුන්ගේ හඬ සමුද්‍ර ඝෝෂාව වැනි ය. එම්බා සියොන් පුරඟන, නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔව්හු සියලුදෙන එක් කෙනෙකු මෙන් පේළි ගැසී අශ්වයන් පිට නැඟී එති.”
24ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: “ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත.
25එළිමහනට නොයන්න; වීදිවල නොඇවිදින්න; කඩු ගත් සතුරන් හැම අතින් ම යන එන බැවින් භයානක ය.”
26සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟෙනි, ගෝණි රෙදි හැඳගෙන, අළුවල පෙරළි පෙරළී, මියගිය එක ම පුතෙකු උදෙසා මෙන් ඉතා දුක් බර ව වැලපෙන්න. මන්ද, විනාශ කරන්නා හදිසියෙන් නුඹට පහර දෙන්නේ ය.
27ජෙරමියා, නුඹ මාගේ සෙනඟගේ මාර්ගය දැනගන්න පිණිසත්, ඔවුන් අතරේ ඔවුන් පරීක්ෂා කර බලන පිණිසත් පරීක්ෂකයෙකු කොට මම නුඹ පත් කෙළෙමි.
28ඔව්හු සියල්ලෝ ම මුරණ්ඩු කැරලිකාරයෝ ය. කේළාම් කියමින් ඇවිදින්නෝ ය. ඔව්හු ලෝකඩ හා යකඩ මෙන් දැඩි ව සිටිති; ඔව්හු දූෂ්‍යකම් කරති.
29උදුන තද ගින්නෙන් ඇවිලීමෙන් වානේ උණු වේ. එහෙත්, ගින්නෙන් කොතරම් පිරිසිදු කළත් දුෂ්ටයෝ පිරිසිදු නොවෙති.
30ස්වාමීන් වන මා එපා කළ නිසා, ‘වෙට්ට රිදී ය’යි ඔව්හු කියනු ලබන්නෝ ය.”