ජෝබ් 17:1-16 SINRV2006 - Bible AI

1“මට හුස්ම ගන්න පවා බැරි ය; මාගේ අවසානය හොඳට ම ළඟ ය. දැන් මට ඉතිරි ව ඇත්තේ සොහොන පමණ ය.

2කොයි අතට හැරුණත්, මිනිස්සු මට සරදම් කරති. ඔවුන්ගේ ඇණුම්බැණුම්වලට මට මූණ පාන්නට වී ඇත.

3“ඔබ ඉදිරියෙහි ඔබ ම මාගේ ඇපකරු වුව මැනව. මා වෙනුවට ඇප දීමට වෙන කිසිවෙක් ඇද් ද?

4තේරුම් නොගන්න පිණිස චින්තන බුද්ධිය ඔබ අඳුරු කර ඇත. මා පරදා ජය ගැන්මට ඔබ ඔවුන්ට ඉඩ නුදුන මැනව.

5සිය වාසිය පිණිස මිතුරන් පාවා දෙන මිනිසාගේ දරුවන් දුක් විඳිනු ඇත.

6සමිඳුන් මිනිසුන් අතර මා නින්දා පාඨයක් කර ඇත. ඔව්හු මාගේ මුහුණට කෙළ ගසති.

7මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත. මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය.

8දැහැමි අය මා දැක මවිත වෙති. සුදනෝ මාගේ විපත දැක කෝප වෙති.

9දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.

10එහෙත්, ඔබ සියලු දෙන ම මා වෙත යළි පැමිණියත්, ඔබ අතර පැණවතෙක් මට හමු වනු ඇද් ද?

11මාගේ දවස් ගෙවී ගොස් ඇත; මාගේ පැතුම් බිඳී ගොස් ඇත; මාගේ අරමුණු ව්‍යර්ථ වී ඇත.

12එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති; ආලෝකය ළඟ යයි කියති; එහෙත්, මා අවට තවමත් අඳුර ය.

13මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි.

14මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.

15එසේ නම්, මාගේ පැතුම කොතැන ද? ‘ප්‍රීතියක් ඇතැ’යි කා හට වත් පෙනේ ද?

16දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?”

Ceylon Bible Society
iv>