1තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ.
2එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි.
3ඔහුගේ මිතුරන් තුන්දෙන ද ජෝබ් කෙරේ වරද තැබූ නමුත්, ඔහුට පිළිතුරු දීමට අසමත් වූ බැවින් ඔවුන්ට විරුද්ධ ව ද ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ ය.
4එලීහු ඔහුගේ මිතුරන්ට වඩා වයසින් බාල වූයෙන්, ජෝබ්ට පිළිතුරු දීමට ඉදිරිපත් නො වී ය.
5එහෙත්, ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය.
6එකල බූසීය බාරකෙල්ගේ පුත් එලීහු පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම නම් වයසින් බාල ය; ඔබ වනාහි වයසක උදවිය ය; එබැවින් මා දන්න දේ ඔබ ඉදිරියේ පැවසීමට බිය ව මම පසෙකට වී සිටියෙමි.
7‘වයසක උදවිය කතා කළ යුතු යි; දිගායු වැළඳු අය ප්‍රඥාව පැවසිය යුතු යි,’ යනු මාගේ වැටහීම යි.
8එහෙත්, මිනිසාට ප්‍රඥාව දෙන්නේ, සව් බලැති දෙවිඳුන්ගේ ආනුභාවය බව දැන් මම දනිමි.
9ප්‍රඥාව ඇති වන්නේ, වයස්ගත වීමෙන් පමණක් නොවේ. හරි දේ දන්නෝ, වැඩිමහල් අය පමණක් නොවෙති.
10එබැවින් මා වදන්වලට සවන් දෙන්න; මමත් දන්න දේ කියන්නෙමි.
11මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි. ඔබේ වාදයට හොඳින් කන් දී සිටියෙමි.
12ඔබ තිදෙනා කී දේට මාගේ අවධානය යෙදුවෙමි. එහෙත්, ජෝබ්ගේ තර්ක බිඳීමට වත්, ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට වත් සමතෙක් ඔබ අතර නො වී ය.
13එබැවින්, ‘අපට ප්‍රඥාව සම්බ වී ය’යි නොකියන්න වග බලාගන්න. ඔහු පරාජය කළ හැකි දෙවිඳුන්ට ම පමණකි, මිනිසාට නම් නොහැකි ය.
14ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය; එහෙත්, ඔබ පිළිතුරු දුන් ලෙස මම පිළිතුරු නොදෙමි.
15ඔව්හු භිරාන්ත ව නිහඬ ව සිටිති; පිළිතුරු දීමට ඔවුන්ට වචන නැත.
16කිය හැකි දෙයක් නැති ව ඔව්හු බලාගෙන සිටිති; ඔවුන් නිහඬ ව සිටිය දී මම කිසිත් නොකියා නිකම් හිඳිම් ද?
17දැන් මටත් පිළිතුරු දීමට වාරයක් ඇත; මා දන්න දෙයක් මමත් කියමි.
18කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද?
19මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.
20මෙය මට දරාගත නොහැකි ය. නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය.
21මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි. මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි.
22ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.”