1“කෙසේ වුව ද, ජෝබ් තුමෙනි, මා කියන හැම දෙයට ම ඉතා හොඳින් සවන් දෙන්න.
2මෙන්න, මම පිළිතුරු දීමට සැරසී සිටිමි. මාගේ වචන දැන් දිව’ග ලෙල දෙයි.
3මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය.
4දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක; සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත.
5ඔබට හැකි නම්, මට උත්තර දෙන්න; හොඳින් සූදානම් වී මට විරුද්ධ ව තර්ක ඉදිරිපත් කරන්න.
6දෙවි තුමන් අබිමුව ඔබත්, මමත් එක වාගේ ම ය. අපි දෙදෙනා ම පොළොවේ පසින් සාදනු ලැබුවෙමු.
7මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා!
8ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි; මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි;
9‘මම නිදොස් ය; අයුතුකමක් මා තුළ නැත. මම නිර්මල ය; මා තුළ පවක් නැත.
10එහෙත්, දෙවිඳාණෝ මට එරෙහි ව කරුණු සොයා, මා සතුරෙකු ලෙස ගණන් ගන්න සේක.
11ⓡ මාගේ පාද දඬුකඳේ දමන සේක; මා කරන හැම දෙය ම මුර කරන සේක.’ මේ වදන් ඔබ කීවෙහි ය.
12ජෝබ් තුමෙනි, මෙන්න, ඊට මාගේ පිළිතුර; ඔබ කීවා වැරදි ය. දෙවිඳාණෝ මිනිසාට වඩා උතුම් ය.
13එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද? එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද?
14දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක; එහෙත්, මිනිසා සලකන්නේ නැත.
15ⓢ එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක.
16දෙවිඳාණෝ මිනිසුන්ගේ කනට කොඳුරා එතුමන්ගේ තර්ජනවලින් ඔවුන් බිය ගන්වන සේක.
17එකල මිනිසා ඔහුගේ පාපයෙන් වළක්වන පිණිස, ඔහුගේ උඩඟුකම පහකරන පිණිස,
18ඔහුගේ ජීවිතය මිනීවළෙන් ද ඔහුගේ පණ කෙන්ද කඩුපතින් ද රැක ගන්න පිණිස දෙවිඳාණෝ එසේ කරන සේක.
19දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක.
20එවිට රෝගියාට කෑම ප්‍රිය නැත; රස බොජුන් වුව ද, ඔහු අප්‍රිය කරයි.
21ඔහුගේ සිරුර ක්ෂය වී ගොස්, හමින් වැසුණු ඇටකටු පෑදී පෙනෙයි.
22ඔහුගේ ප්‍රාණය මිනීවළට ද ජීවිතය මළවුන්ගේ ලොවට ද ළං වේ ගෙන යයි.
23මිනිසා හට තම හරි වැරදි පහදන පිණිස, ඔහුගේ සහයට දූතයන් දහසකගෙන් එක් කෙනෙකු වත් සමහර විට එනු ඇත.
24දූතයා ඔහුට දයා වී, ‘මෙන්න, ඔහුගේ මිදීමේ මිලය! එය රැගෙන ඔහු මිනීවළට යන්නට නොදී, ඔහු මුදාහරින්නැ’යි කියනු ඇත.
25එවිට ඔහුගේ මාංසය තරුණයෙකුගේ මාංසය මෙන් සවිමත් වනු ඇත; ඔහු යළි සිය නව යොවුන් වියට පැමිණෙනු ඇත.
26ඔහු දෙවිඳුන්ට අයැදින විට එතුමාණෝ ඔහුට පිළිතුරු දෙන සේක. එවිට ඔහු ප්‍රීතියෙන් එතුමාණන් නමදින්නේ ය. දෙවි තුමාණෝ යළි ඔහු දැහැමිකමට පමුණුවන සේක.
27ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක.
28මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක; දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත.
29මිනිසා මරණින් මුදන පිණිසත්
30ජීවත් වීමේ ප්‍රීතිය ඔහුට දෙන පිණිසත් දෙවි උතුමාණෝ නැවත නැවත මේ සියල්ල ඔහු උදෙසා කරන සේක.
31එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න. මා කතා කරන විට නිහඬ ව ඉන්න.
32කියන්න යමක් ඔබට ඇත්නම්, මට පිළිතුරු දී කතා කරන්න. මාගේ කැමැත්ත නම්, ඔබ නිවැරදි බව පිළිගැනීම ය.
33නැති නම්, මට සවන් දී නිහඬ ව ඉන්න. මම ඔබට ප්‍රඥාව පහදා දෙමි.”