ජෝබ් 35:1-16 SINRV2006 - Bible AI

1එලීහු තවදුරටත් කතා කරමින් මෙසේ කීවේ ය:

2“ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද? දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?

3‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද? පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?

4ඔබටත්, ඔබේ මිතුරන්ටත් මම මේ පිළිතුර දෙමි.

5අහස දෙස නෙත් යොමා බලන්න; ඈත ඉහළ අහසෙහි පාවෙන වැහි වලාකුළු දෙස බලන්න; ඒවා කොපමණ ඉහළින් ඇද්දැ යි කල්පනා කරන්න.

6ඔබ පව් කළත්, දෙවිඳුන්ට එයින් විපතක් ඇද් ද? ඔබ කොතරම් වැරදි කළත්, දෙවිඳුන්ට එයින් පීඩාවක් ඇද් ද?

7ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද?

8ඔබේ දුෂ්ටකමින් අවැඩක් වන්නේ ඔබ වැනි මිනිසුන්ට පමණකි. ඔබේ දැහැමිකමින් මුළු මිනිස් වර්ගයාට වැඩක් වනු ඇත.

9තාඩන පීඩන නිසා මිනිස්සු විලාප කියති; බලවතුන්ගේ පීඩාව නිසා ඔව්හු පිහිට සොයා කෑගසති.

10එහෙත්, වනයේ මෘගයන්ට වඩා අපට දැනුම දෙන, අහසේ පක්ෂීන්ට වඩා අපට නැණ නුවණ දෙන, අඳුරේ දී අපට සවිය දෙන මැවුම්කාර දෙවි උතුමාණෝ කොතැන්හි දැ යි අසන කිසිවෙක් නැත.

12ඔවුන් පිහිට ඉල්ලා මොරගසන නමුත්, ඔවුන්ගේ අහංකාරය හා දුෂ්ටකම නිසා, දෙවිඳුගෙන් ඔවුන්ට පිළිතුරක් නැත.

13ඒ මොරගැසීමෙන් වැඩක් නැත; දෙවිඳාණෝ සවන් නොදෙන සේක. සව් බලැති උතුමාණෝ එය නොසලකන සේක.

14ජෝබ්, ‘මට දෙවිඳුන් නොපෙනේ ය. එහෙත්, නඩුව එතුමාණන් අතේ ය; මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි’යි ඔබ කියන්නෙහි ය,

15‘දැන්, එතුමාණෝ උදහස් ව දඬුවම් නොකරන සේකැ’යි ද ‘ඒ අපරාධය ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන සේකැ’යි ද ඔබ සිතන්නෙහි ද?

16එබැවින් ජෝබ්, ඔබ මුව අයා කතා කරන්නට යාමෙන් වැඩක් නැත; ඔබ පවසන දෙය ඔබට ම තේරෙන්නේ නැත.”

Ceylon Bible Society
iv>