ජෝබ් 42:1-17 SINRV2006 - Bible AI

1එවිට ජෝබ්, හිමි තුමන් හට පිළිතුරු දෙමින්, මෙසේ කී ය.

2“ඔබ සව් බලැති දෙවි තුමාණන් බවත්, ඔබට නොකළ හැකි කිසිත් නැති බවත්, මම දනිමි.

3 මා කතා කෙළේ, මට දැනුමක් නැති දේ ගැන ය. මට අචින්ත්‍ය වන, අනවබෝධ වන අසිරිමත් දේ ගැන ය.

4 ඔබ කතා කරන විට සවන් දෙන්නටත්, ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නටත් ඔබ මට අණ කළ සේක.

5කලින් මා ඔබ ගැන කනින් අසා තිබුණේ ය. එහෙත්, දැන් මාගේ ම දෙනෙතින් මම ඔබ දැක ගතිමි.

6එබැවින් මම මා ගැන ම ලජ්ජා වෙමි; දූවිල්ලෙහි හා අළුවල හිඳ පසුතැවී සිත් තැවෙමි.”

7තවද, සමිඳාණන් වහන්සේ මේ වචන ජෝබ්ට වදාළ පසු උන් වහන්සේ තේමානීය එලිපස්ට කතා කොට, “මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹ සහ නුඹේ මිතුරන් දෙදෙනා මා ගැන ඇත්ත නොකී බැවින්, මාගේ උදහස නුඹලා කෙරේ ඇවිළී ඇත.

8එබැවින් නුඹලා දවන යාග පූජාවක් ඔප්පු කරන පිණිස, ගොන් සත්දෙනෙකුත් බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන මාගේ සේවකයා වන ජෝබ් වෙත යන්න. ඔහු නුඹලා වෙනුවෙන් අයැදුම් කරනු ඇත. එවිට නුඹලාගේ අඥානකම්වල හැටියට මා විසින් නුඹලාට දුර්විපාක නොදෙන පිණිස ඔහුගේ අයැදුම් පිළිගන්නෙමි. මාගේ සේවකයා වන ජෝබ් මෙන් නුඹලා මා ගැන ඇත්ත නොකීවහු ය”යි වදාළ සේක.

9තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක.

10ජෝබ් සිය මිතුරන් උදෙසා යාච්ඤා කළ විට සමිඳාණන් වහන්සේ ඔහුගේ පෙර පැවති යස ඉසුරු දෙගුණ කොට යළි දුන් සේක.

11ඔහුගේ සියලු සහෝදර සහෝදරියෝ ද පළමු ඔහු දැන හැඳින සිටි සියල්ලෝ ද ඔහු වෙත පැමිණ ඔහුගේ නිවසෙහි ඔහු සමඟ කෑම කා, සමිඳාණන් වහන්සේ ඔහුට පැමිණෙව් විපත්ති සමුදාය ගැන ශෝකය ප්‍රකාශ කොට ඔහු අස්වැසූ හ. ඔව්හු එකිනෙකා රිදී කාසියක් හා රන් මුද්දක් ඔහුට ත්‍යාගි කළහ.

12මෙසේ සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ මුල් කාලයට වඩා අවසාන කාලයට ආශීර්වාද කළ සේක. බැටළුවන් දහහතර දහසක් ද ඔටුවන් හයදහසක් ද ගොන්බාන් දහසක් ද කොටළු දෙනුන් දහසක් ද ඔහුට සිටියෝ ය.

13ඒ ඇර ඔහුට පුත්‍රයන් සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ.

14ඔහු වැඩිමල් දුවට පාරාපතිනිය යන අර්ථය ඇති ජෙමිමා ද දෙ වැනි දුවට සුගන්ධනී යන අර්ථය ඇති කෙශියා ද තුන් වැනි දුවට සුලෝචනී යන අර්ථය ඇති කෙරෙන්-හප්පූක් ද කියා නම් තැබී ය.

15ජෝබ්ගේ දූවරු තරම් සුරූපී කාන්තාවෝ ඒ මුළු රටෙහි ම නොසිටියහ. ඔවුන්ගේ පියා ඔවුන්ගේ සොහොයුරන් සමඟ ඔවුන්ට ද සම්පත් උරුම කොට දුන්නේ ය.

16ඉන්පසු, කාලයාගේ ඇවෑමෙන් ජෝබ් එකසිය සතළිස් වසක් ජීවත් වී සතර වැනි පරපුර දක්වා දරු මුණුබුරන් දැක

17දිගායු වළඳා මරණයට පත් වී ය.

Ceylon Bible Society
iv>