ජෝබ් 8:1-22 SINRV2006 - Bible AI

1එවිට ෂුහිය බිල්දද් මෙසේ කී ය: “හමන සුළඟක් වැනි

2ඔබේ ප්‍රලාප දෙඩීම දැන් වත් ඉවරයක් නැද් ද?

3දෙවි තුමාණෝ යුක්තිය අයුක්තියට පෙරළන සේක් ද? සව් බලැති දෙවිඳුන් නඩුව අවනඩුව කරනු ඇද් ද?

4ඔබේ දූ දරුවන් දෙවිඳුන්ට විරුද්ධ ව පව් කළ බැවින්, ඔවුන්ට දෙවිඳාණෝ නිසි දඬුවම දුන් සේක.

5දැන් ඉතින්, ඔබ උනන්දුවෙන් දෙවිඳුන් සොයා, සව් බලැති එතුමන්ට කන්නලව් කරන්නෙහි නම්,

6ඔබ නිදොස් ව, අවංක ව සිටින්නෙහි නම්, සැබැවින් එතුමාණන් ඔබ වෙනුවෙන් පිබිද, ඔබේ දැහැමි නිවෙසට ආසිරි වස්වනු ඇත.

7“ඔබේ පටන්ගැන්ම සුළු වුව ද අවසානය උසස් වනු ඇත.

8ඔබේ පැරණියන් විමසා, මුතුන්මිත්තන් අත්දුටු දෙයට සිත යොදන්න.

9අද ඊයේ උදවිය වන අපි කුමක් දනිමු ද? මිහි මත අප දිවිය පහ ව යන සෙවණැල්ලක් මෙන් ය.

10එහෙත්, ඒ පැරණියෝ තමන් රැස් කර දැනගත් ප්‍රඥාවෙන් අපට කතා කරති; ඔවුන්ට සවන් දෙන්න.

11“මඩ වගුරු නැති තැන තුන්හිරියා මනා ව වැවෙනු ඇද් ද? ගොහොරු බිමක් නැති තැන වැටකෙයියා වැවෙනු ඇද් ද?

12අමු අමුවේ තිබිය දී ම කැපුවත්, අන් පලා ජාතීන්ට කලින් ඒවා වියළී යනු ඇත.

13දෙවිඳුන් අමතක කරන කොයි මිනිසාගේත් ඉරණම එසේ ම වේ. දෙවිඳුන් නොහඳුනන්නාගේ පැතීම ද එසේ ම වැනසී යන්නේ ය.

14ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය.

15මකුළු දැලට ඔවුන් හේත්තු වුණොත්, එයට ඔවුන් වාවා ගත හැකි ද? නූල් පොටේ එල්ලුණොත් එයට ඔවුන් දරා ගත හැකි ද?

16නපුරු දනෝ හිරු එළියේ සශ්‍රීක වන, වත්ත පුරා විහිදී යන වල් පැළෑටි වැන්න.

17ඒවායේ මුල්, ගල් ගොඩේ එතෙනු ඇත; ගල් ඉඩමේ දුව යනු ඇත.

18යම් කිසිවෙකු ඒවා එතැනින් උදුරා දැමුවොත්, ඒවා එතැන තිබූ බව වත් කිසිවෙක් නොදනිති.

19ඉන් ඇති වන ප්‍රීතිය නම්, එම බිමෙන් අන් පැළෑටි මතු වීම ය.

20දෙවි තුමන් නිදොස් කෙනෙකු ඉවත ලන්නේ වත්, නපුරෙකු සමඟ සමගි වන්නේ වත් නැත.

21එතුමාණෝ ඔබ මුව සිනා රැල්ලෙන් ද ඔබ දෙතොල සතුටු ගීතයෙන් ද සරසන සේක.

22ඔබේ සතුරන්ට අපකීර්තිය අත් වේ; දුදනන්ගේ නිවහන අතුරුදහන් වේ.”

Ceylon Bible Society
v>