ජෝබ් 9:1-35 SINRV2006 - Bible AI

1එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:

2“ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි. එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද?

3පැමිණිලිකරු මෙන් මිනිසාට දෙවිඳුන් සමඟ වාද කළ හැකි ද? එතුමන් අසන ප්‍රශ්න දහසකින් එකකට වත් මිනිසාට පිළිතුරු දිය හැකි ද?

4දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය; සර්ව බලධාරී ය. එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද?

5එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක; සිය උදහසින් ඒවා පෙරළා දමන සේක;

6මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක; එහි කණු සොලවන සේක;

7එතුමාණන් අණ කළහොත්, හිරු උදා නොවන්නේ ය; තරු සඟවා වසා ලීමට එතුමාණන්ට හැකි වන්නේ ය.

8ඒ උතුමාණෝ පමණක් ම අහස් තලය දිග හරින සේක; මහ සයුර පිට ඇවිදින සේක.

9මහ වලසා ද මුව සිරස ද හත්දින්න ද දකුණු දිග තාරකා ද මැවූ සේක.

10මිනිස් මනසින් සොයාගත නොහැකි මහත් දේ ද ගණනාවක් නොමැති අසිරිමත් දේ ද කරන සේක.

11මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත; මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය,

12දෙවි තුමන් යමක් ගන්න කල එය වැළැක්විය හැකි සමතා කවරෙක් ද? ‘ඔබ ඔය කරන්නේ කුමක් දැ’යි පවසන්නට කාට හැකි ද?

13දෙවි තුමන්ගේ උදහස නිරතුරු ව ම පවතිනු ඇත; රාහබ් නම් දියරකුසාගේ සහචරයෝ එතුමන් හට අවනත වෙති.

14එසේ නම්, එතුමන් සමඟ සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට ඇද් ද?

15මා නිදොස් වුව ද එතුමන්ට උත්තර දීමට මම අපොහොසත් වෙමි. මම විනිසකරුගෙන් දයාව පතමි.

16මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය. එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?

17එතුමාණෝ සැඬ සුළඟින් මට පහර දී තව තවත් මට නිකරුණේ තුවාළ කරන සේක.

18එතුමාණෝ මට හුස්ම ගන්නට වත් ඉඩ නොදී සිත් තැවුළින් මා පුරවන සේක.

19ශක්තිය ගැන සිතමු නම්, එය ඇත්තේ එතුමන්ට ය. මා ගැන යුක්තිය විසඳීම උදෙසා එතුමන් කැඳවීමට සමතා කවරෙක් ද?

20‘මම නිදොස් වෙමි’යි මා කටින් කීවත්, මාගේ ම වචනය මා වරදට පත් කරයි. මාගේ හැම උත්තරයක් ම මා වරදකරුවෙකු කරයි.

21මා නිදොස් වුවත්, ජීවිතයෙන් මට කමක් නැත; ජීවිතයෙන් මට වැඩක් නැත.

22මට කොයි එකත් එක ය. වැරදි වුවත්, නිවැරැදි වුවත් දෙවි තුමන් අප විනාශ කරන බව මට පෙනේ.

23විපතින් හදිසි මරණය එන විට නිදොස් අයගේ විපත්තිය ගැන එතුමාණෝ සිනාසෙන සේක.

24ලෝකය කුදිටු අය අතට බාර දී තිබේ; විනිසකරුවන්ගේ ඇස් අන්ධ කර ඇත. එසේ නොවේ නම්, මෙසේ වන්නේ කෙසේ ද?

25මාගේ කල දවස, දුවන පණිවුඩකාරයෙකුට වඩා වේගයෙන් ගෙවෙයි. එය හොඳක් නොදැක පලා යයි.

26මාගේ දිවිය වේගයෙන් යන නැවක් මෙන් ද ගොදුර පිට කඩා වදින රාජාලියෙකු මෙන් ද පහ ව යයි.

27මාගේ විලාපය අමතක කොට, ‘මම මාගේ දොම්නස් පෙනුම සොම්නසට වෙනස් කරමි’යි කීවත්,

28මම මාගේ සියලු දුක්ගැනවිලිවලට බියෙන් සිටිමි. මා නිදොස් ලෙස ඔබ ගණන් නොගන්න බව මම දනිමි.

29‘නුඹ වරදකරුවෙකැ’යි ඔබ වදාරන සේක් නම්, මාගේ වෙහෙස වීමෙන් වැඩක් ඇද් ද?

30සුදු හිම දියෙන් නා ගෙන මාගේ දෑත කොතරම් සුදෝ සුදු කරගත්තත්,

31ඔබ මා මඩ වළට හෙළන සේක. මාගේ ම ඇඳුම් මට ම පිළිකුලකි.

32එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.

33අප දෙපසට මැදින් අප අතර සමගිය ඇති කිරීමට මැදහත්කරුවෙක් නැත.

34ඔබේ දඬුවම මා කෙරෙන් පහකළ මැනව. ඔබේ භීතියෙන් මා ත්‍රස්ත නොකළ මැනව.

35එවිට මම නොබිය ව කරුණු කියමි. එසේ නම්, බියට හේතුවක් මට නැත.

Ceylon Bible Society
v>