2“මහල්ලෙනි, සවන් දෙන්න; දේශයේ සියලු වැසියෙනි, කන් යොමු කරන්න. මෙබන්දක් ඔබේ කාලයේ වත් ඔබේ මුතුන්මිත්තන්ගේ කාලයේ වත් සිදු වී ඇද් ද?
3ඔබේ දරුවන්ට ඒ ගැන කියන්න; ඔව්හු තමන්ගේ දරුවන්ටත් ඒ ගැන කියත් වා! ඔව්හු ද, මතු පරම්පරාවටත් ඒ ගැන කියා දෙත් වා!
4පළඟැටි පණුවන් කා ඉතිරි කළ දේ වැඩුණු පළඟැටියෝ කාදැමූ හ. වැඩුණු පළඟැටියන් කා ඉතිරි කළ දේ පනින පළඟැටියෝ කාදැමූ හ. පනින පළඟැටියන් කා ඉතිරි කළ දේ කපන පළඟැටියෝ කාදැමූ හ.
5සුරා සොඬුනි, පිබිද වැලපෙව්! බේබද්දෙනි, කෑමොරගසව්! මන්ද, මිදිරස ඔබේ මුවින් පහවී ගොස් ඇත.
6ⓐගිණිය නොහැකි, බලසම්පන්න පළඟැටි සේනාවක් මාගේ රට ආක්‍රමණය කර ඇත. ඔවුන්ගේ දත් සිංහ දත් මෙන් ය. සිංහ ධේනුවකගේ දළ ඔවුන්ට ඇත.
7උන් මාගේ මිදි වැල් පාළු කර ඇත; මාගේ අත්තික්කා ගස් විකාදමා ඇත; ඒවායේ පොතු ගලවා බිම හෙළා ඇත. එහි අතු දැන් සුදු වී ඇත.
8සිය යොවුන් වියේ දී විවා බස් දුන් පෙම්වතා මියගිය බැවින් දළ රෙදි හැඳගත් කන්‍යාවක මෙන් හඬා වැලපෙන්න.
9දේව මාලිගාවේ ආහාර පූජාව ද පානීය පූජාව ද නැත. පූජකවරු, සමිඳුන්ගේ පූජකවරු, වැලපෙන්නෝ ය.
10කෙත්වතු පාළු වී ගොසින් ය; භූමිය වැලපෙන්නේ ය; මන්ද, ගොයම් වැනසී, මිදි පල වියළී තෙල් හීන වී ගොස් ඇත.
11ගොවියෙනි, දුකින් තැවෙන්න; මිදි වතුකාරයෙනි, වැලපෙන්න. මන්ද, තිරිඟු ද බාර්ලි ද කෙතේ ගොයම් ද වැනසී ඇත.
12මිදි වලු පර වී, අත්තික්කා ගස් මැලවී දෙළුම්, තල්, ජම්බු, සියලු ගස් වියළී ඇත. මිනිසාගේ ප්‍රීතිය දුරු වී ඇත.
13“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.
14උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.
15ⓑඅහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.
16අප ඇස් හමුයෙහි ම ආහාර පහවී ගොස් නැද් ද? දේව මාලිගාවෙන් ප්‍රීති ප්‍රමෝදය පහවී ගොස් නැද් ද?
17පස් පිඬලි යට බීජ දිරා යයි; අටු කොටු පාළු වී ඇත; ගබඩා ගරාවැටී ඇත. මන්ද, ගොයම් වියළී ගොස් තිබේ.
18අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති.
19සමිඳුනි, මම ඔබට අයැදුම් කරමි. මන්ද, කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත; උයන්වල සියලු ගස් ගිනිබත් වී ඇත.
20වන මෘගයෝ පවා ඔබ දෙස බලා සිටිති. මන්ද, උල්පත් සිඳී ඇත. කෙතේ තණ බිම් ගින්නෙන් දැවී ගොස් ඇත.