ජෝෂු 14:1-15 SINRV2006 - Bible AI

1ඉශ්රායෙල් සෙනඟට කානාන් දේශයෙන් ලැබූ උරුම කොටස් මේවා ය. පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ඉශ්රායෙල් ජනයාගේ ගෝත්‍රවල පවුල් ප්‍රධානීහු ද ඒවා ඔවුන්ට බෙදා දුන්නෝ ය.

2සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගෝත්‍ර නවයටත්, අර්ධ ගෝත්‍රයටත් දාදු දැමීමෙන් ඔවුන්ගේ උරුම ලැබුණේ ය.

3ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් ජොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුමය දී තිබිණි. එහෙත්, ලෙවීවරුන්ට ඔවුන් අතරේ උරුමයක් නොදුන්නේ ය.

4ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම් යන ගෝත්‍ර දෙකට බෙදන ලද්දේ ය. ලෙවීවරුන්ට දේශයෙන් කිසි කොටසක් නොලැබුණේ ය. ඒ වෙනුවට ජීවත් වන පිණිස නගර ද ඔවුන්ගේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි සඳහා තණ බිම් ද දෙන ලද්දේ ය.

5ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි කරමින් දේශය බෙදුවෝ ය.

6එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය.

7දේශයේ ඔත්තු බලන පිණිස සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල මම සතළිස් අවුරුද්දක් වයස් ව සිටියෙමි. මම ද පෙරළා අවුත් සත්‍ය වාර්තාවක් ඔහුට දුන්නෙමි.

8එහෙත්, මා සමඟ ගිය සහෝදරයෝ සෙනඟ තැති ගැන්නුවෝ ය. එසේ වුව ද, මම සම්පූර්ණ ලෙස මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වුණෙමි.

9මෝසෙස් ඒ දවසේ දී දිවුරුම් දෙමින්, ‘ඔබ සම්පූර්ණ ලෙස මාගේ සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා සැබැවින් ම ඔබ පය තැබූ දේශය ඔබටත්, ඔබේ දරුවන්ටත් සදාකාල උරුමයක් වන පිණිස වන්නේ ය’යි කීවේ ය.

10දැන් බලන්න, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මේ දේ වදාළ දවස සිට අද දක්වා සතළිස්පස් අවුරුද්දක් ගත වී ඇත. ඒ වූකලී ඉශ්රායෙල් සෙනඟ පාළුකරය මැදින් ගමන් කළ කාලය ය. අද වන තුරු සමිඳාණන් වහන්සේ මා ජීවත් කොට රක්ෂා කළ සේක. අද මම අසූපස් අවුරුද්දක් වයස් ව සිටිමි.

11මෝසෙස් මා පිටත් කර යැවූ දවසේ මෙන් ම අදත් මම ශක්තිමත් ව සිටිමි. යුද්ධ කරන්නටත් කොයි දේ කරන්නටත් ඒ කාලයේ තිබුණාක් මෙන් ම දැනුත් මට ශක්තිය තිබේ.

12සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී සඳහන් කළ මේ කඳුකර පළාත මට දුන මැනවි. එහි අනාක්වරුන් සිටින බව ද පවුරු ඇති මහ නගර තිබෙන බව ද ඔබට ඒ දවසේ දී අපි කීවෙමු. සමිඳාණන් වහන්සේ වදාළ පරිදි සමහර විට උන් වහන්සේ මා සමඟ සිටිනු ඇත. එවිට මම ඔවුන් පන්නාදමමි.

13ජෝෂුවා ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට ආශීර්වාද කොට, ඔහුට හෙබ්‍රොන් නුවර උරුම කොට දුන්නේ ය.

14එබැවින් කෙනෙස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වූ නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමය ව තිබේ.

15මීට පළමුවෙන් හෙබ්‍රොන් නගරයේ නම කිරියත්-අර්බා ය. අර්බා වනාහි අනාක්වරුන් අතර සිටි ඉතා ශ්‍රේෂ්ඨ තැනැත්තා ය. යුද්ධයෙන් තොර ව රටේ සාමදානය ඇති විය.

Ceylon Bible Society
iv>