1ජෝසෙප්ගේ කුලුඳුලා වූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේ ය. මනස්සේගේ කුලුඳුලා වූ ගිලියද්ගේ පිය වූ මාකීර් යුද්ධ භටයෙකු බැවින් ඔහුට ගිලියද් ද බාෂාන් ද ලැබුණේ ය.
2මනස්සේගේ අනික් පුත්‍රයන් වන අබීයෙසෙර්ගේ පරපුරට ද හේලෙක්ගේ පරපුරට ද අශ්‍රීයෙල්ගේ පරපුරට ද ෂෙකෙම්ගේ පරපුරට ද හේපෙර්ගේ පරපුරට ද ෂෙමිදාගේ පරපුරට ද ඔවුන්ගේ පවුල් ගණන අනුව කොටස් ලැබුණේ ය. තමන්ගේ පවුල් ගණන අනුව ජෝසෙප්ගේ පුත් මනස්සේගේ පිරිමි දරුවෝ මොවුහු ය.
3එහෙත්, මනස්සේගේ පුත්‍රයා වන මාකීර්ගේ පුත්‍ර වූ ගිලියද්ගේ පුත් වන හෙපෙර්ගේ පුත්‍ර වූ ශෙලෝපෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නුවූ හ. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.
4
5ජොර්දානෙන් එගොඩ තිබෙන ගිලියද් ද බාෂාන් ද හැර, මනස්සේට කොටස් දසයක් පැවරුණේ ය.
6මන්ද, මනස්සේගේ දූවරුන්ට ඔහුගේ පුත්‍රයන් අතරෙහි උරුමයක් ලැබුණු හෙයිනි. මනස්සේගේ අනික් පුත්‍රයන්ට ගිලියද් දේශය හිමි වුණේ ය.
7මනස්සේගේ දේශ සීමාව ආෂෙර් පටන් ෂෙකෙම් ඉදිරියෙහි තිබෙන මික්මෙතාත් දක්වා විය; එතැනින් සීමාව දකුණට ඒන්-තප්පුවාහි වාසීන්ගේ දේශය දක්වා විය.
8තප්පුවා රට මනස්සේට අයිති විය. එහෙත්, මනස්සේගේ සීමාවේ තිබුණු තප්පුවා එප්‍රායිම් ගෝත්‍රයට අයිති වුණේ ය.
9එතැනින් සීමාව කානා ඔයට දකුණෙන් ඔය ළඟට බැස්සේ ය. මේ නගර මනස්සේගේ නගර අතරේ එප්‍රායිම්ට හිමි විය. මනස්සේගේ සීමාව ඔයට උතුරෙන් වැටී මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.
10දකුණු පැත්ත එප්‍රායිම්ට ද උතුරු පැත්ත මනස්සේට ද අයිති ය; ඔහුගේ තවත් සීමාවක් මධ්‍යධරණි මුහුද ය; ඒවාට උතුරෙන් ආෂෙර්ගේ දේශයත්, නැගෙනහිරෙන් ඉස්සාකර්ගේ දේශයත් යාව තිබේ.
11තවද, ඉස්සාකර්හි සහ ආෂෙර්හි බෙත්-ෂෙයාන් සහ ඊට අයිති නගර ද ඉබ්ලෙයාම් සහ ඊට අයිති නගර ද දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද ඒන්-දෝර් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද තයනාක් වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද මෙගිද්දෝ වැසියන් සහ ඔවුන්ට අයිති නගර ද යන උස් ප්‍රදේශ තුන මනස්සේට ලැබුණේ ය.
12
13ඉශ්රායෙල් ජනයා ශක්තිමත් වූ කල ඔව්හු කානානිවරුන් වහල් වැඩට පත් කළෝ ය; එහෙත්, ඔවුන් සහමුලින් පන්නා නොදැමූ හ.
14ජෝසෙප්ගේ පරපුරේ අය ජෝෂුවාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මේ දක්වා අපට ආශීර්වාද කළ බැවින් අප විශාල සෙනඟක් ව සිටිය දී ඔබ එක කොටසක් ද එක පංගුවක් ද පමණක් අපට උරුම කොට දුන්නේ මන්දැ”යි ඇසූ හ.
15ජෝෂුවා පිළිතුරු දෙමින්, “ඔබ හැම මහා සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට ඔබට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේ ද රෙපායිම්වරුන්ගේ ද රටෙන් කොටසක් එළි කරගන්නැ”යි ඔවුන්ට කීවේ ය.
16ජෝසෙප්ගේ පරපුරේ අය කතා කොට, “කඳු රට අපට මදි ය. මිටියාවත් රටෙහි, එනම්, බෙත්-ෂෙයාන්හි ද ඊට අයිති නගරවල ද ජෙශ්‍රෙයෙල් මිටියාවතෙහි ද වාසය කරන සියලු කානානිවරුන්ට යකඩ රථ තිබේ ය”යි කීවෝ ය.
17ජෝෂුවා එප්‍රායිම් ද මනස්සේ ද යන ජෝසෙප්ගේ පරපුරට කතා කොට, “ඔබ හැම මහා සෙනඟක් ය; ඔබට බොහෝ බලය ඇත්තේ ය. ඔබ හැමට ලැබෙන්නේ එක කොටසක් පමණක් නොවේ ය.
18කඳු රටත් ඔබට අයිති වන්නේ ය. එය වනාන්තරයක් වුවත් ඔබ එය කපා එළි කරගන්න. එවිට අන්තිම සීමාව දක්වා ම එය ඔබට වන්නේ ය. කානානිවරුන්ට යකඩ රථ තිබෙන නුමුත්, ඔවුන් ශක්තිමත් ව සිටින නුමුත්, ඔබ ඔවුන් පන්නාදමනු ඇතැ”යි කීවේ ය.