1
2“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මෝසෙස් ලවා මා නුඹලාට ප්‍රකාශ කළ පරිදි අභය භූමි නගර තෝරාගන්න.
3යම් මිනිසෙකු අදහස් නොකර හෝ වැරදීමකින් හෝ යමෙකු මැරුවොත් ඔහුට ඒ අභය භූමියට ගොස් පළිගන්නට සොයන්නාගෙන් ආරක්ෂා විය හැකි ය.
4ඔහු ඒ නගරවලින් එකකට පලා ගොස් නගර දොරකඩ සිට ඒ නගරයේ ප්‍රජා මූලිකයන් ඉදිරියෙහි සිදු වූ කාරණය කියා සිටින්නේ ය. ඔවුන් ඔහු නගරයට පිළිගෙන තමන් සමඟ වාසය කරන පිණිස ඔහුට ස්ථානයක් දිය යුතු ය.
5මැරීම ගැන පළිගන්නට සොයන මිනිසා ඔහු ලුහුබැඳ ආවොත්, ඔහු අතට මිනී මැරූ තැනැත්තා පාවා නොදිය යුතු ය. මන්ද, ඔහු තමාගේ අසල්වැසියා මැරුවේ පෙර තිබූ වෛරයක් නිසා නොව අත්වැරැද්දක් නිසා ය.
6ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරු ද එවකට සිටින උත්තම පූජකයා නසින තුරු ද ඒ නගරයේ වසන්නේ ය. ඉන්පසු මිනී මැරූ තැනැත්තාට තමා අත්හැර ගිය තමාගේ නගරයටත්, තමාගේ ම ගෙදරටත් හැරී යා හැකි ය.
7මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ් ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම් ද ජුදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බා ද වෙන් කොට තැබුවෝ ය.
8ජෙරිකෝවට නැගෙනහිරෙන් ජොර්දානෙන් එගොඩ රූබන් ගෝත්‍රයෙන් උස් සමභූමියේ පාළුකරයේ තිබෙන බෙශෙර් ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත් ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන් ද ඔව්හු වෙන් කොට තැබුවෝ ය.
9වැරදීමකින් මිනී මරන කවුරු නමුත්, සභාව ඉදිරියෙහි පෙනී සිටින්නට ප්‍රථම මිනී මැරීම ගැන පළිගන්නට සොයන්නාගේ අතින් මැරුම් නොකනු පිණිස පලා ගොස් සිටීමට සියලු ඉශ්රායෙල් සෙනඟ ද ඔවුන් අතරේ සිටින විදේශිකයන් ද උදෙසා නියම කරන ලද අභය භූමි නගර මේවා ය.