ද්විතීය නීති සංග්‍රහය 11:1-32 SINRV2006 - Bible AI

1“ඔබ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, නිතර ම උන් වහන්සේගේ අනුශාසනා ද නීති නියෝග සහ අණපණත් ද පිළිපැදිය යුතු ය.

2අද දින මෙය දැනගන්න. මා කතා කරන්නේ ඒවා නොදත් ඔබේ දරුවන් සමඟ නොව ඔබ සමඟ ය. ඔබේ දරුවෝ වනාහි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ එවූ දඬුවම් ද, උන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය සහ බාහු බලය ද, දිගු කළ හස්තය ද,

3මිසරයේ රජ වූ පාරාවෝට සහ ඔහුගේ මුළු රටටත්, මිසරය මැද කළ හාස්කම් සහ ප්‍රබල ක්‍රියා ද,

4මිසරයේ හමුදාවටත් ඔවුන්ගේ අශ්වයන්ට සහ රථවලටත් උන් වහන්සේ කළ දේ ද, ඔවුන් ඔබ ලුහුබැඳ යද්දී රතු මුහුදේ වතුර ඔවුන් මත ගලා යෑමට සලස්වා ඔවුන් සහමුලින් ම වැනසූ අන්දම ද,

5ඔබ මේ ස්ථානයට එන තෙක් පාළුකරයේ දී උන් වහන්සේ ඔබට කළ දේ ද,

6රෑබන්ගේ පුත් එලියාබ්ගේ පුත්‍රයා වන දාතාන්ට සහ අබිරාම්ට කළ දේ ද, මුළු ඉශ්රායෙල් ජනයා මැද පොළොව විවර වී ඔවුන් ද ඔවුන්ගේ ගෙවැසියන් ද කූඩාරම් ද ඔවුන් සතු සියලු සම්පත ද ගිලගත් ආකාරය ද නුදුටුවහු ය.

7එහෙත්, සමිඳාණන් වහන්සේ කළ සියලු ප්‍රබල ක්‍රියා ඔබේ දෙනෙතින් ඔබ දුටුවහු ය.”

8“එබැවින් මා ඔබට අද දින නියම කරන සියලු අණපණත් ඔබ පිළිපැදිය යුතු ය. එසේ කළොත්, ඔබ ශක්තිමත් වී, හිමි කරගන්නට යන දේශයට ඇතුළු වී එය අයිති කරගනු ඇත.

9සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ටත්, ඔවුන්ගේ පෙළපතටත් දෙන්නට පොරොන්දු වූ කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඒ දේශයෙහි ඔබට චිරාත් කාලයක් ජීවත් වීමට හැකි වනු ඇත.

10ඔබ අයිති කරගන්නට යන දේශය ඔබ නික්ම පැමිණි මිසර දේශය මෙන් නොවේ. මිසරයේ නම් වැපුරුවායින් පසු, එළවළු වත්තකට මෙන් ජල රෝදයක් පෑගීමෙන් ජලය සැපයීම කළ යුතුව තිබුණි.

11එහෙත්, ඔබ අයිති කරගන්නට යන රට, අහසින් වහින වැහි වතුර උරා බොන කඳුවැටිවලින් හා නිම්නවලින් යුත් එකකි.

12එය ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සලකන රටකි, අවුරුද්දේ මුල සිට අග දක්වා උන් වහන්සේගේ බැල්ම නිතර ම ඒ රට කෙරෙහි යොමු ව පවතී.

13“අද දින මා ඔබට නියම කරන අණපණත්වලට ඔබ උනන්දුවෙන් සවන් දී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, ඔබේ මුළු හෘදයෙන් ද, ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නහු නම්,

14ඔබේ දේශයට නියම කාලය වන සරත් කාලයේ දී සහ වසන්තයේ දී වැසි වස්වනු ඇත. එවිට ඔබට ඔබේ ධනධාන්‍ය ද මිදිපල ද තෙල් ද එකතු කරගත හැකි ය.

15ඔබේ ගවමහිෂයන් සඳහා කෙත්වල තණ වැවෙන්නට ද සලස්වනු ඇත. ඔබට කෑම කා තෘප්තිමත් වීමට හැකි වනු ඇත.

16එහෙත්, අන් මඟක ගොස්, අන් දෙවි දේවතාවන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරන සේ නොරැවටෙන්නට වගබලාගන්න.

17ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත.

18“එබැවින් ඔබ හැම මාගේ මේ වචන ඔබේ හදවතෙහි ද සිතෙහි ද තැන්පත් කරගත යුතු ය. ඔබේ අත්වල ලකුණක් මෙන් ද ඔබගේ නළල මත පටි මෙන් ද ඒවා බැඳගත යුතු ය.

19ඒවා ඔබේ දරුදැරියන්ට ඉගැන්විය යුතු ය. ඔබ ගෙදර සිටින විට ද, පාරේ යන එන විට ද, සැතපෙන විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කළ යුතු ය.

20ඒවා ඔබේ ගෙදර උළුවහුවල ද දොරටුවේ ද සටහන් කළ යුතු ය.

21එසේ කළොත්, සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට පොරොන්දු වූ දේශයෙහි ඔබේ ආයු කාලයත් ඔබේ දරුදැරියන්ගේ ආයු කාලයත් මිහි පිට ඉර හඳ පවතින තාක් දික් වන්නේ ය.

22“මා ඔබට නියම කරන මේ සියලු අණපණත් ඔබ උනන්දුවෙන් ආරක්ෂා කොට, ඒවා පිළිපදිමින්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේමය දක්වා උන් වහන්සේගේ සියලු මාර්ගවල යමින්, උන් වහන්සේට ඇලුම් ව සිටින්නහු නම්,

23උන් වහන්සේ ඔබට පෙරටුවෙන් මේ සියලු ජාතීන් පන්නාදමන සේක. ඔබ ද ඔබට වඩා ගණනින් විශාල, බලසම්පන්න ජාතීන්ට අයත් රටවල් අයිති කරගන්නහු ය.

24ඔබ පස් පාගන හැම තැනක් ම ඔබට අයිති වනු ඇත. පාළුකරයේ සිට ලෙබනොන් දේශය දක්වා ද, යුප්‍රටීස් ගංගාවේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද දේශය ඔබේ වන්නේ ය.

25ඔබට විරුද්ධ ව කිසිවෙකුට නැඟිට සිටීමට හැකි නොවනු ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට වදාළ ලෙස ඔබ පස් පාගන සෑම රටක් පිට ම ඔබ ගැන භීතිය සහ සන්ත්‍රාසය එවනු ඇත.

26“මෙන්න, මම අද දින ඔබට තෝරා ගැනීමට ආශීර්වාදයක් ද සාපයක් ද ඔබ ඉදිරියෙහි තබමි.

27මම අද දින ඔබට නියම කරන ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට ඔබ කීකරු වන්නහු නම්, එය ආශීර්වාදයක් වන්නේ ය.

28දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත්වලට අකීකරු වී, මා අද දින නියම කරන මාර්ගයෙන් අන් අතකට හැරී, ඔබ නාඳුනන අන් දෙවිදේවතාවන් පසුපස යන්නහු නම්, එය සාපයක් වන්නේ ය.

29ඔබ අයිති කරගන්නට යන දේශයට දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගෙනා කල, ගෙරිසිම් කන්ද මත ආශීර්වාදය ද ඒබාල් කන්ද මත සාපය ද ප්‍රකාශ කළ යුතු ය.

30මේ කඳු දෙක, ජොර්දාන් ගඟින් එතෙර, බටහිරට පිහිටි කානානිවරුන් වසන මිටියාවතෙහි ගිල්ගාල් නගරය අසල මොරේගේ ආලෝන අරඹ ළඟ පිහිටා තිබේ.

31දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුළු වී එය අයිති කරගන්නා පිණිස ඔබ ජොර්දාන් ගඟෙන් එතෙර වන්නහු ය. ඔබ ද එය අයිති කරගෙන එහි පදිංචි වන්නහු ය.

32මා අද දින ඔබ ඉදිරියෙහි තබන සියලු නීති හා නියෝග ඔබ ආරක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.”

ter>