1
2
3“ඔබ කිසි පිළිකුල් දෙයක් නොකෑ යුතු ය.
4ඔබට කන්නට අවසර ඇති සත්තු නම් ගවයා, බැටළුවා, එළුවා,
5ගෝනා, තිත්මුවා, වැලිමුවා, වල් එළුවා, ඕලුමුවා, කුරංගයා සහ වාතමෘගයා යන මොවුහු ය.
6සතුන් අතර කුරය බෙදී වෙන් ව තිබෙන වමාරා කන සෑම සතෙකු ම කෑමට ඔබට අවසර ඇත.
7එහෙත්, වමාරා කන සතුන් අතරෙන් හෝ කුර බෙදී වෙන් වී ඇති සතුන් අතරෙන් හෝ කෑමට අවසර නැති සත්තු නම් ඔටුවා, හාවා සහ බෙන් හාවා ය. මොවුන් වමාරා කන නමුත් උන්ගේ කුර බෙදී නැත. එබැවින් මොවුන් අපවිත්‍ර සතුන් මෙන් සැලකිය යුතු ය.
8ඌරා, කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතු ය. උන්ගේ මස් නොකෑ යුතු අතර, උන්ගේ මළකුණු ද ස්පර්ශ නොකළ යුතු ය.
9“සියලු ජලජ සතුන් අතරෙන් වරල් සහ කොරපොතු ඇති සතුන් කන්නට පුළුවන.
10වරල් සහ කොරපොතු නැති සතුන් නොකෑ යුතු ය. ඔවුන් අපවිත්‍ර සේ සැලකිය යුතු ය.
11“සියලු පවිත්‍ර පක්ෂීන් ඔබට කන්නට අවසර ඇත.
12කෑමට අවසර නැති පක්ෂීහු නම් රාජාලියා, මහ ගිජුලිහිණියා,
13ගුරුළා, කුරුළුගොයා, ඒ ඒ වර්ගයේ උකුස්සෝ
14ඒ ඒ වර්ගයේ සියලු කපුටෝ
15පැස්බරා, මුහුදු ලිහිණියා,
16බස්සා, බකමූණා, උලමා,
17දිය කාවා,
18ඒ ඒ වර්ගයේ කොක්කු, හුපුවා සහ වවුලා යන මොවුහු ය.
19“පියාඹන කුඩා සත්තු අපවිත්‍ර ය. උන් කෑමට අවසර නැත.
20එහෙත් සියලු ම පවිත්‍ර පක්ෂීන් කන්නට අවසර ඇත.
21
22
23ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවනු සඳහා තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි ඔබේ ධනධාන්‍යයෙන්, මිදියුසින් සහ තෙල්වලින් දසයෙන් කොටස ද, ගව පට්ටිවල සහ එළු බැටළු පට්ටිවල කුලුඳුල් සතුන් ද අනුභව කළ යුතු ය. මෙසේ කිරීමෙන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමට ඔබ ඉගෙනගනු ඇත.
24ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කළ පසු සිය නාමය පිහිටුවනු සඳහා උන් වහන්සේ තෝරාගත් ස්ථානය ඔබෙන් බොහෝ දුර නම්, දසයෙන් කොටස ඔබට උසුලාගෙන යෑමට නොහැකි වන තරමට දුර වැඩි නම්,
25ඔබ එය විකුණා මුදල් කොට, ඒ මුදල අතේ රැගෙන උන් වහන්සේ තෝරාගත් ස්ථානයට යා යුතු ය.
26ඉන්පසු ඒ මුදල වැය කොට ඔබ කැමැති පරිදි ඕනෑ ම දෙයක් එනම්, ගවයන් හෝ බැටළුවන් හෝ මිදියුස හෝ මත්පැන් හෝ ඔබ කැමැති දෙයක් ගෙන දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ ගෙවැසියන් ද ඒවා අනුභව කර ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
27තවද, ඔබ ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් අමතක නොකළ යුතු ය. ඔබට මෙන් ඔවුන්ට රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැත.
28“සෑම තුන් අවුරුද්දක් අවසානයේ දී ඔබ ඒ තෙ වන අවුරුද්දේ ලැබූ අස්වැන්නෙන් දසයෙන් කොටස ගෙනැවිත් වාසල් දොරටු ඇතුළත තැබිය යුතු ය.
29එවිට වාසල් දොරටු ඇතුළත සිටින ඔබට මෙන් රටින් කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද ආගන්තුකයන් ද අනාථ වූවන් ද වැන්දඹුවන් ද විත් ඒවා අනුභව කොට තෘප්තිමත් වනු ඇත. මෙසේ කළොත්, ඔබේ සියලු වැඩ කටයුතුවල දී ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක.”