1
2ඔබ උරුම කොටගත් ඒ දේශයේ නගර තුනක් වෙන් කළ යුතු ය.
3දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන එම දේශය කොටස් තුනකට බෙදා, ඕනෑ ම මිනීමරුවෙකුට ඒවාට පලා යනු සඳහා මඟක් පිළියෙළ කළ යුතු ය.
4ඒවාට පලා ගොස් පණ බේරාගත හැක්කේ පහත දක්වන අන්දමට කෙනෙකු අතින් මරණයක් වූ විට ය. කලින් වෛරයක් නොමැති ව, අදහස් නොකර යමෙකු මැරුවොත් ඔහුට එලෙස පලා යත හැකි ය.
5නිදසුනක් නම් මෙය වේ: යමෙකු තව කෙනෙකු සමඟ ලී කැපීමට වනයට ගොස්, ගසක් කපනු පිණිස අත ඔසවා පොරොවෙන් පහර දෙන විට, පොරෝ තලය මිටෙන් ගැලවී අනිත් තැනැත්තාගේ ඇඟට වැදී ඔහු මළොත්, ගස කැපූ තැනැත්තාට ඒ නගරවලින් එකකට පලා ගොස් පණ බේරා ගත හැකි ය.
6පලා යාමට ඇත්තේ එක නගරයක් නම්, එය බොහෝ දුර වී නම්, පළිගැනීමේ අයිතිය හිමි, මරන ලද තැනැත්තාගේ ලේ නෑයෙකුට, තමා දැඩි කෝපයෙන් සිටිය දී මැරූ තැනැත්තා ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන, මරා දමන්නට හැකි වේ. එහෙත්, එවැන්නෙකු කලින් වෛර බැඳ නොසිටි බැවින්, ඒ තැනැත්තා මරාදැමීම යුතු නොවේ.
7එබැවින් ඔබේ ප්‍රයෝජනයට නගර තුනක් වෙන් කළ යුතු යයි මම අණ කරමි.
8“උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ප්‍රකාර ඔබේ දේශ සීමා පළල් කොට, උන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ පරිදි මේ මුළු රට ම ඔබට දානය කරන සේක.
9එසේ කරන්නේ, මා ඔබට අද දින දෙන අණපණත් සියල්ලට ඔබ අවනත වී ඒවා පිළිපැද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමින්, උන් වහන්සේට සදහට ම කීකරු වන්නහු නම් පමණකි. ඉන්පසු පෙර කී අභය භූමි නගර තුනට අමතර ව තව තුනක් එකතු කළ යුතු ය.
10එවිට දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුම කොට දෙන ඒ ඔබේ දේශයෙහි ඔබ නිදොස් ලේ නොවගුරන්නහු ය.
11“එහෙත් යමෙකු අනෙකකුට වෛර බැඳ, ඔහු එන තෙක් රැක සිට, ඔහුට විරුද්ධ ව නැඟිට, මැරෙන්නට පහර දී, ඒ නගරවලින් එකකට පලා ගියොත්,
12නගරයේ ප්‍රජා මූලිකයන්, මිනිසුන් යවා ඔහු ගෙන්වාගෙන, ඔහු මරාදමන පිණිස, මිනීමැරීම ගැන පළිගන්න තැනැත්තාට ඔහු පාවා දිය යුතු ය.
13ඔබ ඔහුට අනුකම්පා නොදක්වා, ඉශ්රායෙල් ජනයා අතරෙන් නිදොස් ලේ හැළීම පිළිබඳ වරදකරු නෙරපාදැමිය යුතු ය. එවිට ඔබට ශුභසිද්ධිය සැලසෙන්නේ ය.”
14
15
16යමෙකුට විරුද්ධ ව බොරු වරද තැබීමට බොරු සාක්ෂිකරුවෙකු ඉදිරිපත් වුවහොත්,
17ඒ නඩුවට සම්බන්ධ දෙදෙනා ම සමිඳාණන් වහන්සේ ඉදිරියට, එනම්, එකල නිල දරන පූජකවරුන් සහ විනිශ්චයකරුවන් ඉදිරියට, පැමිණිය යුතු ය.
18විනිශ්චයකරුවන් නඩුව හොඳින් විභාග කළ පසු, සාක්ෂිකරු බොරු සාක්ෂිකරුවෙකු බවත්, තම සොහොයුරාට විරුද්ධ ව ඔහු බොරු සාක්කි දුන් බවත් පෙනී යන්නේ නම්,
19සාක්ෂිකරු විත්තිකරුට කරන්නට අදහස් කළ දෙය, සාක්ෂිකරු හට ම දිය යුතු ය. මෙලෙස ඔබ, ඔබ අතරෙන් මෙවැනි නපුරුකම් පහකළ යුතු ය.
20සෙසු අය ද මේ ගැන අසා, බිය වී, මෙවැනි නපුරුකම් ඔබ අතර තවදුරටත් නොකරන්නෝ ය.
21