1
2සමිඳාණන් වහන්සේ මට කතා කොට,
3‘නුඹලා බොහෝ කලක් මේ කඳුකරයෙහි සංචාරය කළහු ය. දැන් උතුරු දිශාවට හැරෙන්න.
4
5ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.
6ඔබට කෑම පිණිස මුදල් ගෙවා ආහාර ද බීම පිණිස මුදල් ගෙවා වතුර ද ඔවුන්ගෙන් ගත හැකි ය’යි වදාළ සේක.
7ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.
8“අපි ද අපගේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි සේයිර් කඳුකරය පසු කොට, ඒලත් සහ එශියොන්-ගෙබෙර් නම් ස්ථානවලින් මිටියාවත ඔස්සේ ගොස්, යළි හැරී මෝවබ්හි පාළුකරය මැදින් ගියෙමු.
9
10“අනාක්වරුන් හා සමාන, බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වන ඒමිවරු පෙර කාලයේ දී එහි විසූ හ.
11අනාක්වරුන් මෙන් ඔව්හු ද රෙපායිම් යෝධයෝ යයි හඳුන්වනු ලැබූ හ. එහෙත් මෝවබ්වරුන් ඔවුන්ට කීවේ ඒමිවරු කියා ය.
12සේයිර්හි පෙර කල හෝරිවරු පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අයිති කොට දුන් දේශයට, ඉශ්රායෙල්වරුන් කළ පරිදි, ඒසව්ගේ පෙළපත ද හෝරිවරුන් පන්නා දමා, ඔවුන් වනසා, එහි පදිංචි වූ හ.
13“උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘දැන් නැඟිට, ශෙරෙද් නම් නදියෙන් එතෙර වන්නැ’යි වදාළ සේක. අපි ද එම නදියෙන් එගොඩ වූයෙමු.
14
15ඔවුන් නැත්තට ම නැති වන තෙක් හමුදාවෙන් ඔවුන් වනසාලීම පිණිස සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව නැඟී සිටිය සේක.
16“මෙලෙස සෙනඟ අතරෙන් මුළු භට හමුදාවේ සියල්ලන් නැති නාස්ති වී වැනසී ගිය පසු,
17සමිඳාණන් වහන්සේ මට කතා කොට,
18‘අද නුඹ ආර් නම් පෙදෙස ඔස්සේ මෝවබ් දේශය මැදින් යා යුතු ය.
19
20“එය ද රෙපායිම්වරුන්ගේ රට මෙන් ගණන් ගැණිනි. පෙර කාලවල දී රෙපායිම් යෝධයෝ එහි විසූ හ. අම්මොන්වරු ඔවුන්ට සම්සුම්මිවරු යයි නම් කළහ.
21අනාක්වරුන් මෙන් ඔව්හු ද බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් වනසා ලූ නිසා, අම්මොන්වරු එම රට අල්ලාගෙන එහි පදිංචි වූ හ.
22සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.
23ක්‍රීට් දූපතේ සිට පැමිණි වාසීහු ද, දකුණු දිග පිහිටි ගාසා දක්වා විසූ අව්විවරුන් වනසා, එම රටේ පදිංචි වූ හ.
24“සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න.
25මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”
26“මම ද කෙදෙමොත් පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජ වූ සීහොන් වෙත සාමකාමී වචන සහිත ව පණිවුඩකාරයන් යවමින්,
27‘ඔබේ දේශය මැදින් මට යන්නට අවසර දුන මැනව. මම මහ මාවත ඔස්සේ යමින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්නෙමි.
28කන්නට ආහාර ද බොන්නට වතුර ද මුදලට දුන මැනව. මම දේශය මැදින් පයින් ම යමින්,
29අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන රටට, ජොර්දාන් ගඟෙන් එතෙර වන්නෙමි. සේයිර්හි පදිංචි ඒසව්ගේ පෙළපත ද ආර්හි පදිංචි මෝවබ්වරු ද අපට එසේ යන්නට අවසර දුන්නෝ ය’යි කීවෙමි.
30“එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.
31“එවිට සමිඳාණන් වහන්සේ මා අමතා ‘මෙන්න, සීහොන් රජු සහ ඔහුගේ දේශය මම නුඹට දෙන්නට පටන්ගතිමි. එම දේශය අල්ලාගෙන, උරුම කරගන්නැ’යි වදාළ සේක.
32සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.
33දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු.
34ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු.
35අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු.
36අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.
37එහෙත්, අම්මොන්ගේ පෙළපත පදිංචි දේශයට වත්, ජබ්බොක් ගඟ අසබඩ කිසි ම ස්ථානයකට වත්, කඳුකරයේ කිසි ම නුවරකට වත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ තහනම් කළ කිසි ම තැනකට වත් අපි නොගියෙමු.”