1“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උරුමයක් වශයෙන් ඔබට අයිති කර දෙන්නට යන දේශයට ඔබ පැමිණ, එහි පදිංචි වූ පසු,
2
3ඔබ එකල සිටින පූජකවරයා වෙත ගොස් මෙසේ කිව යුතු ය: ‘අපට දෙනු සඳහා සමිඳාණන් වහන්සේ අපේ පියවරුන්ට පොරොන්දු වූ රටට මා පැමිණි බව මම අද දින දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ කරමි.’
4පූජකවරයා ද පැස ඔබේ අතින් ගෙන දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට එය තැබිය යුතු ය.
5“ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය.
6මිසරවාසීහු ද නපුරු ලෙස ක්‍රියා කරමින්, අපට හිංසා පීඩා කොට අප දැඩි වහල්කමට පත් කළහ.
7අපේ ආදි පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට අප මොරගැසූ විට සමිඳාණන් වහන්සේ අපට සවන් දී අපේ දුක් කරදර ද හිංසා පීඩා ද වෙහෙස මහන්සි ද දෙස බැලූ සේක.
8සමිඳාණන් වහන්සේ සිය හස්තය දිගු කොට, බාහු බලය පා, බියජනක අරුමපුදුම දේවලින් සහ හාස්කම්වලින් මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක.
9උන් වහන්සේ අප මෙහි ගෙනවුත්, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන මේ දේශය අපට දුන් සේක.
10සමිඳුනි, දැන් බලනු මැනව; ඔබ මට දුන් දේශයේ නාඹුල් පල මම ගෙනැවිත් සිටිමි.’ මෙසේ කියා දෙවි සමිඳාණන් ඉදිරියෙහි එය තබා උන් වහන්සේට නමස්කාර කළ යුතු ය.
11දෙවි සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පවුලටත් දානය කළ සියලු යහපත් දේවල් ගැන ඔබත්, ලෙවීවරුත්, ඔබ සමඟ වසන විදේශිකයනුත් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
12
13දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ කිව යුතු ය: ‘ඔබ මට දුන් සියලු ආඥා ප්‍රකාර, කැප කළ දේ සියල්ල මම ගෙදරින් ගෙනවුත්, ලෙවීවරයාට ද විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද දුනිමි. ඔබේ ආඥා මම කඩ නොකෙළෙමි. ඒවා අමතක නොකෙළෙමි.
14මා වැලපෙන සමයේ ද මම එයින් කිසිවක් නොකෑවෙමි. අපවිත්‍ර ව සිටි විට එයින් කිසිවක් ඉවත් නොකෙළෙමි. එයින් කිසිවක් මළවුන්ට ඔප්පු නොකෙළෙමි. මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වී, ඔබ වහන්සේ මට අණ කළ සියල්ල ප්‍රකාර කෙළෙමි.
15ඔබේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාවට ද ඔබ අපේ පියවරුන්ට දිවුළ ප්‍රකාර, අපට දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන මේ දේශයට ද ආශීර්වාද කරනු මැනව.’ “
16“මෙදින දෙවි සමිඳාණන් වහන්සේ මේ නීති හා නියෝග පිළිපැදීමට ඔබට අණ කරන සේක. එබැවින් ඔබ, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඒවාට අවනත වී පිළිපැදිය යුතු ය.
17ඔබ, සමිඳාණන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව අද පිළිගෙන, දෙවි මඟ යාමටත්, උන් වහන්සේගේ නීති, නියෝග සහ අණපණත් පිළිපැදීමටත්, උන් වහන්සේට කීකරුවීමටත් පොරොන්දු විය යුතු ය.
18
19තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”