1“සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔබ ඇතුළු වී එහි ඔබ ජීවත් වී, ගණනින් වැඩි වී, එය අයිති කරගනු පිණිස මා අද දින ඔබට නියම කරන සියලු අණපණත් ඔබ රක්ෂා කරමින් පිළිපැදිය යුතු ය.
2තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.
3
4ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත.
5පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය.
6එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය.
7ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි.
8එය තිරිඟු සහ යව ද, මිදි ද අත්තික්කා හා දෙළුම් ද, ඔලීව ද, තෙල් හා මී පැණි ද ඇති රටකි.
9හිඟයක් නැතිව කෑමට ආහාර ද, ඔබට අවශ්‍ය සියල්ල ද ඇති රටකි. එහි පර්වතවල යබොර ඇත, එහි කඳුවැටියෙන් තඹ කැණගන්නට පුළුවන.
10ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වූ පසු, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන් සරුසාර රට උදෙසා උන් වහන්සේට ස්තුති පිදිය යුතු ය.”
11
12ඔබ ආහාර අනුභව කර තෘප්තිමත් වී, හොඳ ගෙවල් තනා, ඒවායේ පදිංචි වූ පසු ද,
13ඔබේ ගව පට්ටි සහ එළු බැටළු පට්ටි ගණනින් බහුල වී, රන් රිදී වැඩි වී, ඔබ සතු සියල්ල වර්ධනය වු පසු ද
14ඔබ හිස උදුම්මා නොගෙන, වහල්කමේ නිවාසය වන මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක නොකරන්න.
15විසකුරු සර්පයන්ගෙන් හා ගෝනුස්සන්ගෙන් ගහණ වූ මහා භයානක පාළුකරය ඔස්සේ උන් වහන්සේ ඔබ ගෙන ගිය සේක. නියඟය පැවති, වතුර නැති ස්ථානවල දී කළුගල් පර්වතයෙන් ඔබට වතුර ලබා දුන් සේක.
16පාළුකරයේ දී ඔබේ පියවරුන් පවා නොදත්, ‘මන්නා’ නමැති ආහාරයකින් උන් වහන්සේ ඔබ පෝෂණය කළ සේක. උන් වහන්සේ එසේ කෙළේ ඔබ යටහත් බවට පමුණුවා, ඔබ සෝදිසි කොට, අන්තිමේ දී ඔබට සෙත සලසනු සඳහා ය.
17‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න.
18ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.
19ඔබ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට, අන් දෙවි දේවතාවන් පසුපස යමින් ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කළොත්, ඔබ ඇත්තට ම නැසීවැනසී යන බව මම අද සහතික කොට කියමි.
20ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු නො වූ වොත්, සමිඳාණන් වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට දී ම ජාතීන් විනාශ කළාක් මෙන්, ඔබ ද විනාශ කරන සේක.”