1“ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න. ඔබ අද දින ජොර්දාන් ගඟින් එතෙර වී යා යුතු ය. ඔබ යා යුත්තේ, ගණනින් ඔබට වඩා විශාල වූ ද බලසම්පන්න වූ ද ජාතීන්ගේ රටවල් හා අහස් කුස දක්වා නඟින පවුරුවලින් වට වූ විශාල නගර ආක්‍රමණය කරනු පිණිස ය.
2ඒවායේ ඇත්තේ, අනාක්වරුන්ගේ පෙළපතට අයිති ගණනින් විශාල සෙනඟකි. ඔව්හු ඉතා උස මහත මිනිස්සු ය. ඔවුන් ගැන ඔබ දන්නහු ය. ‘අනාක්ගේ සෙනඟට විරුද්ධ ව නැඟිට සිටින්නට හැක්කේ කාට දැ’යි යන කීම ද ඔබ අසා ඇත.
3එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත.
4“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.
5ඔවුන්ගේ රට ඔබ අයිති කරගන්නට යනුයේ ඔබේ දැහැමිකම නිසා වත්, ඔබේ සිත්හි අවංකකම නිසා වත්, නො වේ. එසේ නොව, ඔබ යන විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් පන්නා දමනුයේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය. මෙසේ කිරීමෙන් ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට සමිඳාණන් වහන්සේ දිවුළ වචනය ඉටු කරන සේක.
6එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සාර භූමිය ඔබට අයිති කර දෙනුයේ ඔබේ දැහැමිකම නිසා නොවන බව තේරුම්ගන්න. මන්ද, ඔබ වනාහි මුරණ්ඩු සෙනඟකි.”
7“පාළුකරයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ කුපිත කළ අන්දම අමතක නොකොට සිතේ තබාගන්න. මිසර දේශයෙන් පිටත් වූ දා සිට මෙතැනට එන තෙක් ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.
8හොරෙබ් කන්දේ දී පවා ඔබ උන් වහන්සේ කුපිත කළහු ය. එවිට ඔබ වනසාලන තරමට පවා උන් වහන්සේ ඔබ සමඟ කිපුණ සේක.
9
10එවිට දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු දෙක සමිඳාණන් වහන්සේ මට භාර දුන් සේක. ජනතාව රැස් කළ දිනයෙහි ගින්න මැද සිට සමිඳාණන් වහන්සේ කන්දේ දී ඔබ සමඟ කතා කළ සියල්ල ම එහි සටහන් කර තිබිණි.
11තවද, දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් ගෙවී ගිය පසු සමිඳාණන් වහන්සේ ගිවිසුම ලියා තිබූ ගල් පුවරු දෙක මට දුන් සේක.
12“එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට, ඉක්මනට කන්දෙන් බැස යන්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන ඇත. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔවුන් විගස අන් අතකට හැරී ගොස්, තමන්ට ම වාත්තු කළ පිළිමයක් සාදාගෙන ඇතැ’යි වදාළ සේක.
13“උන් වහන්සේ තවදුරටත් මට කතා කොට, ‘මම මේ සෙනඟ දැන අඳුනමි. ඔවුන් මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.
14මිහි පිටින් ඔවුන්ගේ නම මකා දමා, ඔවුන් වනසාලනු පිණිස මට ඉඩ හරින්න. එහෙත්, මම නුඹගෙන්, ඔවුන්ට වඩා බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් පිහිටුවමි’යි වදාළ සේක.
15“මම ද ආපසු හැරී කන්දෙන් බැස ආවෙමි. කන්ද ගින්නෙන් දැවි දැවී තිබිණි. ගිවිසුමේ ගල් පුවරු දෙක ද මා දෑතෙහි විය.
16මම ද බලන විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ පව් කර තිබෙන බවත්, ඔබට ම වාත්තු කළ පිළිමයක් තනාගෙන තිබෙන බවත් දිටිමි. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ විගස අන් අතකට හැරී තිබිණි.
17ඔබේ ඇස් ඉදිරියෙහි ම, මම ගල් පුවරු දෙක ගෙන, දෑතින් ම විසිකොට බිඳ දැම්මෙමි.
18එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි.
19
20සමිඳාණන් වහන්සේ ආරොන් ද විනාශ කරන පිණිස ඔහුට විරුද්ධ ව ඉතා උදහස් ව සිටි සේක. මම ඒ අවස්ථාවේ දී ඔහු උදෙසාත් යාච්ඤා කෙළෙමි.
21මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි.
22
23
24මා ඔබ දැනගත් දා සිට ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.
25“ ‘සමිඳාණන් වහන්සේ වන මම ඔබ වනසමි’යි වදාළ බැවින් මම උන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තලා වැටී සිටියෙමි.
26මම ද සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඔබ බාහු බලය පාමින් මිසරයෙන් පිටතට ගෙනා, ඔබේ බලසම්පන්න භාවය පෙන්වා ඔබ මුදාගත්, ඔබේ උරුමයත්, සෙනඟත් විනාශ නොකළ මැනව.
27ඔබේ දාසයන් වන ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සිහි කළ මැනව. මේ සෙනඟගේ මුරණ්ඩුකම හෝ ඔවුන්ගේ දුෂ්ටකම හෝ පාප හෝ ඔබ නොසැලකුව මැනව.
28එසේ නැත්නම්, සමිඳාණන් වහන්සේ වන ඔබ ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඊමට ඔබට නොහැකි වූ නිසාත්, ඔබ ඔවුන්ට වෛර කළ නිසාත්, ඔවුන් මරා දමනු පිණිස මේ පාළුකරයට ගෙනා සේකැ යි, මිසර වාසීන් කියනු ඇත.
29මේ සෙනඟ වනාහි, ඔබ මහා බලය පාමින් ඔබේ දිගු කළ හස්තයෙන් ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ උරුමය සහ ඔබේ ම සෙනඟ ය’යි කීවෙමි.”