ධර්මදේශකයා 2:1-26 SINRV2006 - Bible AI

1මම විනෝදය සොයා, එයින් ප්‍රමුදිත වීමට සිතා ගතිමි. එය ද නිස්සාර දෙයක් විය.

2සිනාව පිස්සුවක් බව ද විනෝදයෙන් සෙතක් නොවන බව ද මට පෙනිණි.

3ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.

4මම උදාර දේ කෙළෙමි; මම මන්දිර ගොඩනඟා, මිදිවතු වවාගත්තෙමි;

5මම ගෙවුයන් තනා නානාප්‍රකාර පලතුරු ඒවායෙහි වගා කෙළෙමි.

6ගස් වැවෙන ගෙවතුවලට වතුර සපයන පිණිස මම දිය පොකුණු සාදා ගතිමි.

7මම දාසදාසීන් මිලේට ගතිමි. මාගේ ගෙයි ම උපන් වැඩකරුවෝත් සිටියෝ ය. මින් පෙර ජෙරුසලමෙහි විසූ අන් කිසිවෙකුට වඩා ගව පට්ටි හා එළු බැටළු පට්ටි මට වූ හ.

8මාගේ විජිතයෙහි වූ රාජකීය භාණ්ඩාගාරවලින් රන් රිදී ද වෙන සම්පත් ද රැස් කරගතිමි. ගායක ගායිකාවෝ මට ගී ගැයූ හ. මිනිසෙකුගේ ප්‍රීතිය සපුරාලීමට ඇති පමණ වනිතාවන් මම සපයාගතිමි.

9මෙසේ ජෙරුසලමෙහි මට පළමුවෙන් සිටි අන් හැමට වඩා ඉහළින් මම වැජඹුණෙමි. ප්‍රඥා මහිමය මා තුළ අඩු නො වී ය.

10මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය.

11එහෙත්, මා කළ හැම කාර්යයක් ම, වෙහෙස දරා කළ මාගේ හැම කටයුත්තක් ම දෙස මා බැලූ විට, ඒ සියල්ල නිස්සාර, හිස් ප්‍රයත්න බව ද සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් බව ද දුටුවෙමි.

12එවිට මම ප්‍රඥාව, මෝහය හා අඥානකම කවරේ දැ යි සිතන්නට පටන් ගතිමි. මන්ද, එක රජෙකු කරන්නේ පෙර රජවරුන් කළ දේ ම ය.

13අන්ධකාරයට වඩා ආලෝකය උතුම් සේ අඥානකමට වඩා ප්‍රඥාව උතුම් බව දැන් මට පෙනේ.

14නුවණැති අය නුවණැසින් බලා ගමන් කරති. අනුවණ අය අඳුරෙහි ඇවිදිති. එහෙත්, ඒ දෙගොල්ලගේ ම ඉරණම එක ය.

15එකල, “අනුවණයාට සිදු වූ දේ ම මටත් සිදු වන්නේ ය; ඉතින් මාගේ නුවණින් කුමන වැඩක් සිදු වී දැ”යි මම කල්පනා කෙළෙමි. එවිට, “මාගේ ප්‍රඥාවත් නිස්සාර දෙයකැ”යි මට පෙනිණි.

16මන්ද, මතු පැමිණෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින් ම අමතක වී යන බැවින්, අඥානයා ගැන මෙන් ම ප්‍රඥාවන්තයා ගැනත් මතකයක් නොතිබෙනු ඇත. අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයාත් නසිනු නියත ය.

17මෙසේ මුළු මිනිස් ලොවෙහි හැම කටයුත්තක් ම අයහපත් බව මට පෙනිණි. මම ජීවිතයට අප්‍රිය කෙළෙමි. හැම දෙය ම සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමක් මෙන් නිසරු බව දිටිමි.

18මුළු මිනිස් ලොවෙහි මා ගත් සියලු ප්‍රයත්නයන්, මාගේ ඇවෑමෙන් පහළ වන කෙනෙකුට තබා යා යුතු බැවින්, හැම දෙයක් ගැන ම මම කලකිරුණෙමි.

19ඔහු ප්‍රඥාවන්තයෙක් වේ ද අඥානයෙක් වේ දැ යි කියන්නට දන්නේ කවරෙක් ද? මුළු මිනිස් ලොවෙහි වීර්යයෙන් හා ප්‍රඥාවෙන් මා ඉටු කළ හැම දෙය ම ඔහු සන්තක වනු ඇත. මෙය ද නිස්සාර දෙයකි.

20එබැවින් මා මුළු මිනිස් ලොවෙහි කළ මාගේ මුළු කාර්යය ගැන මාගේ සිත කලකිරෙන්නට වන.

21මනුෂ්‍යයෙක් ප්‍රඥාව, අවබෝධය හා දක්ෂතාව ඇති ව සිය කාර්ය ඉටු කරයි. එහෙත්, කිසි වෙහෙසක් නොදැරූ වෙන කෙනෙකුට ඒවායේ ප්‍රතිඵල තබා යන්නට ඔහුට සිදු වෙයි. මෙය ද නිෂ්ඵල, අසාධාරණ දෙයකි.

22මනුෂ්‍යයා මුළු මහත් පොළොවෙහි වෙහෙස දරා කරන කටයුතුවලින් හා මානසික ශ්‍රමයෙන් ඔහුට කුමන වැඩක් වේ ද?

23ජීවිතය මුළුල්ලේ ම ඔහුට ඇත්තේ කරදර හා සිත් වේදනාව පමණ ය. රාත්‍රියේ දී පවා ඔහුගේ සිතට නිස්කලංකයක් නැත. මෙය ද නිෂ්ඵල දෙයකි.

24මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි.

25මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද?

26දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින මනුෂ්‍යයාට උන් වහන්සේ ප්‍රඥාවත්, අවබෝධයත්, ප්‍රීතියත් දෙන සේක. එහෙත්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි යහපත් ව සිටින අයට හිමි වන පිණිස, උන් වහන්සේ පව්කාරයාට වෙහෙස දරා වස්තු රැස්කර තැබීමට සලස්වන සේක. මෙය ද නිෂ්ඵල දෙයකි. සුළං රොදක් ඇල්ලීමට කරන වෑයමකි.

e>