ප්‍රේම ගී 7:1-13 SINRV2006 - Bible AI

1පෙම්වතා රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය.

2ඔබේ නාභිය මිදියුස පිරුණු, වටකුරු පාත්‍රයක් වැනි ය. ඔබේ උදරය මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වැනි ය.

3ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් දෙදෙනෙකු වැනි ය.

4ඔබේ ගෙල ඇත්දත් කුළුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.

5ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය. ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය. රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි.

6එම්බා සොඳුරිය, ප්‍රීතිය වඩවන්න ඔබ කොපමණ ශෝභන ද? ඔබේ ප්‍රේමය ප්‍රියජනක ය.

7මේ ඔබේ උස ප්‍රමාණය තල් ගසකටත්, ඔබේ පියයුරු මිදි පොකුරුවලටත් සමාන ය.

8‘මම තල් ගසට නැඟී එහි අතු අල්ලන්නෙමි’යි කීමි. ඔබේ පියයුරු මිදි පොකුරු මෙන් ද ඔබේ හුස්මේ සුවඳ ජම්බු මෙන් ද

9ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා! ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා!පෙම්වතී

10මම මාගේ පෙම්වතාගේ ය; ඔහුගේ ආශාව ද මා කෙරෙහි ය.

11මාගේ පෙම්වත, එන්න, අපි පිටිසරට ගොස්, ගම්වල නැවතී සිටිමු.

12අපි අලුයම නැඟිට මිදි වතුවලට ගොස්, මිදි වැල් දලු ලා මල් පිපුණේ ද දෙළුම් ගස්වල මල් පිපී තිබේ ද කියා බලමු. එහි දී මාගේ ප්‍රේමය ඔබට පිරිනමන්නෙමි.

13දුදා ඵල සුවඳක් විහිදුවයි. අපේ දොරටු ළඟ අලුත් ද පරණ ද සියලු ආකාර අනර්ඝ පලතුරු ඇත. මාගේ පෙම්වත, ඒවා ඔබ උදෙසා තබාගතිමි.

>