ප්‍රේම ගී 8:1-14 SINRV2006 - Bible AI

1අනේ! ඔබ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවා වූ මාගේ සොහොයුරා මෙන් වී නම් මම කැමැත්තෙමි. එවිට පිටත දී ඔබ මට හමු වූ කල ඔබ මා සිඹගත්තත් කිසිවෙක් මා හෙළා නො දක්නේ ය.

2මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි. ඔබ මට උගන්වන්නෙහි ය. මිශ්‍ර කළ මුද්‍රික පානය ද දෙළුම් යුස ද මම ඔබට බොන්න දෙන්නෙමි.

3ඔබේ වමත මාගේ හිස යට තිබේ. ඔබේ දකුණත මා වැළඳගෙන ඇත.පෙම්වතා

4ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට දිවුරුම් දෙන්න.ගායක පිරිස

5තම පෙම්වතා අතින් අත ගෙන කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද? ජම්බු ගස යට දී මම ඔබ පිබිදෙවුවෙමි. ඔබ උපන්නේ එහි දී ය; ඔබේ මව ප්‍රසව වේදනාව වින්දේ එහි දී ය.පෙම්වතා

6ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.

7මහා දිය දහරින් ප්‍රේමය නිවිය නොහැකි ය; මහා ගංවතුරට එය යට කළ නොහැකි ය. මිනිසෙකු ප්‍රේමය දිනාගන්නට තමාගේ ගෙයි සියලු සම්පත දුන්නත්, ඔහුට ලැබෙන්නේ අවමානය පමණකි.

8අපට කුඩා සහෝදරියක් සිටින්නී ය; තවමත් ඇයට පියයුරු නැත. අපේ සහෝදරීට මංගල යෝජනාවක් කරන දවසේ දී අපි ඈ ගැන කුමක් කරමු ද?

9ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩ නඟන්නෙමු. ඈ දොරක් නම්, කිහිරි ලීවලින් ඈ වට කරන්නෙමු.පෙම්වතී

10මම පවුරක් මෙන් සිටිමි. මාගේ පියයුරු එහි කොත් කුළුණු ය. ඒ නිසා මා පෙම්වතා අබිමුව ලත් දෙයින් තුටු වී සාමයෙන් සිටිමි.පෙම්වතා

11බාල්-හාමොන්හි සලමොන්ට මිදි වත්තක් තිබුණේ ය. ඔහු ඒ මිදි වත්ත බලන්නන්ට බාර දුන්නේ ය. එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්නට එකිනෙකාට නියම විය.

12මට ම අයිති මිදි වත්තක් තිබේ. සලමොන්, ඔබට දහසක් ද එහි ඵල බලාගන්නන්ට දෙසියයක් ද දෙනු ලැබේ වා!

13උයන්වල සිටින තැනැත්තිය, මාගේ මිතුරෝ ඔබේ හඬට සවන් දෙති. එය මට අසන්න ලැබේ වා!පෙම්වතී

14මා පෙම්වත, ඉක්මන් කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත් මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් යුහුසුලු ව එන්න.

>