1ⓞමෝවබ් රට පිළිබඳ පණිවුඩය මෙය ය: “එක රාත්‍රියක දී මෝවබ් දේශයෙහි ආර් හා තීර් පාළු කොට වනසන ලදී; මෝවබ් දේශය පුරා විනාශය ඇත.
2දීබොන් දේශයේ සෙනඟ ගිරිකුළු දේවාලවලට ගොස් හඬා වැලපෙන්නෝ ය. නෙබෝ සහ මේදෙබා ගැන මෝවබ් වැලපෙන්නේ ය. දුක් බරින් ඔවුන් තමන්ගේ හිස් මුඩු කර රැවුල් කපා ඇත.
3වීථිවල සිටින සෙනඟ ගෝණි රෙදි ඇඳ සිටිති; ඔව්හු සැම දෙන ම තමන්ගේ පියසි උඩ ද එළිමහන් ඉඩම්වල ද කඳුළු හළමින්, කෑමොරගසා විලාප කියති.
4හෙෂ්බොන් හා එලෙයාලේ නගරවල සෙනඟ කෑගසති; ඔවුන්ගේ හඬ ජහශ් දක්වා ඇසෙයි. හේවායෝ පවා වෙවුලති. ඔවුන්ගේ ධෛර්යය පහ වී ගොස් ඇත.
5මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි. එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති. ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති. හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.
6නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත. ඒ අසල තණ මැලවී ගොස් ඇත. අමු කොළයක් දකින්න වත් නැත.
7තමන් රැස් කරගත් දේපළ රැගෙන බට පඳුරු ඇති ඔය හරහා පලා යන්න සෙනඟ උත්සාහ කරති.
8මුළු මෝවබ් දේශය පුරා කෑගැසීමේ හඬ ඇසේ; එහි විලාප හඬ එග්ලයිම් හා බෙයෙර්-එලීම් නගර දක්වා ඇසේ.
9දීමොන් නගරයේ ගඟ ලෙයින් පිරී ඇත. ඊටත් වඩා භයානක දෙයක් එහි සෙනඟට කරන්න දෙවිඳුන් අදහස් කර ඇත. මෝවබ් දේශයෙන් පලා යන අයත්, ඉතිරි ව සිටින සියලු දෙනාත් සිංහයන්ට ගොදුරු වෙති.”