2ඔව්හු කැදැල්ලෙන් පලවා හරින ලද කුරුල්ලන් මෙන් අර්ණොන්හි තොටුපළවල ඉවක් බවක් නැති ව ඒ මේ අත යති.
3ජුදාවේ සෙනඟට ඔව්හු මෙසේ කියති: “අපට උපදෙස් දෙන්න; යුක්තිය ඉටු කරන්න; ඉර මුදුන් වේලේ ගසකින් වැටෙන සිසිල් සෙවණ යට මෙන් අප ආරක්ෂා කරන්න; ඔබේ පිහිට අපට දෙන්න; ගෙයක් දොරක් නැති අප සඟවාගන්න; පලා එන අය පාවා නොදෙන්න.
4නුඹලාගේ දේශයේ වාසය කරන්න අපට ඉඩ දෙන්න. අප විනාශ කරන්න මාන බලන අයගෙන් අප ආරක්ෂා කරගන්න. පීඩාව ද විනාශය ද කෙළවර වන්නේ ය. දේශය නැති නාස්ති කරන අය පහ වී යන්නෝ ය.
5එවිට දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු රජ වී අවංක ලෙස ද ප්‍රේමයෙන් ද ආණ්ඩු කරනු ඇත; හරි දේ කිරීමටත්, යුක්තිය ඉටු කිරීමටත් යුහුසුලු වනු ඇත.”
6ජුදාවේ සෙනඟ කතා කරමින්, “මෝවබ් සෙනඟගේ උඩඟුව ද දර්පය ද අහංකාරය ද ගැන අසා ඇත. එහෙත්, ඔවුන්ගේ පාරට්ටුව හිස් ය”යි කියති.
7එක් කෙනෙකු වත් නෑර, මෝවබ්වරු තමන්ට ඇති දුක් විපත් නිසා වැලපෙති. ඔව්හු කීර්-හරෙසෙත් කෙරෙහි බලාපොරොත්තු සුන් වී වැලපෙති.
8හෙෂ්බොන්හි කෙත් ද සිබ්මාහි මිදි වැල් ද මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයන් මත් වූයේ ඒ මිදි වැල්වලින් ලබාගත් මිදියුස බීමෙන් ය. එක් කාලයක දී ඒ මිදි වතු නැගෙනහිර ජාශර් නගරය හා කාන්තාරය දක්වා ද බස්නාහිර මළ මුහුදෙන් එහා පැත්ත දක්වා ද විහිදී ගොස් තිබිණි.
9දැන් මම ජාශර්හි වූ මිදි වැල් ගැන වැලපෙන්නාක් මෙන්, සිබ්මාහි මිදි වැල් ගැන ද වැලපෙන්නෙමි. හෙෂ්බොන් හා එලෙයාලේ ගැන මම කඳුළු වගුරුවන්නෙමි. යුද හඬ නුඹේ කෙත් වතු පවා විනාශ කිරීමට එන්නේ ය.
10සාරවත් කෙත්වල කිසිවෙකුට ප්‍රීතියක් නැත. මිදි වතුවල කිසිවෙකු ගී ගයන්නේ නැත. මිදියුස ලැබීමට කිසිවෙකු මිදි වලු පාගා මිරිකන්නේ නැත. ප්‍රීති නාදය දැන් ඇසෙන්නේ නැත.
11මෝවබ් ගැන දුකෙන් ද කීර්-හෙරෙස් ගැන දොම්නසින් ද මම කෙඳිරිගාන්නෙමි.