1ⓥතීර් පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: අහෝ! තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, තීර් නම් තොටුපළ විනාශකර ඇත. එහි ගෙවල් හා වරාය සුන්බුන් වී ඇත. සයිප්‍රසයෙන් නුඹලාගේ නැව් ආපසු පැමිණෙන විට නුඹලාට ආරංචි වනු ඇත.
2සීදොන්හි වෙළෙඳුනි, මුහුදුබඩ වැසියෙනි, නිහඬ වන්න. ඔබේ දූතයෝ මුහුද තරණය කළහ.
3මිසර වැසියෝ නයිල් ගඟ අසල අස්වැන්නෙන් ද ධාන්‍යයෙන් ද ජාතීන් අතර වෙළඳාම් කිරීමෙන් ආදායම උපයාගත්තෝ ය. මුහුදෙන් එතෙර සියලු රටවලට නුඹලාගේ භාණ්ඩ යවන ලදී.
4එම්බා සීදොන් නගරය, නුඹ ලජ්ජා වන්න. මන්ද, සත් සමුදුරු පත්ලත් නුඹ ප්‍රතික්ෂේප කර, “මම ප්‍රසව වේදනා නොවින්දෙමි; දරුවන් උත්පාද නොකෙළෙමි; තරුණ තරුණියන් ඇතිදැඩි නොකෙළෙමි”යි කියන්නේ ය.
5තීර් විනාශ කරනු ලැබූ බව මිසර වාසීන්ට ආරංචි වූ විට ඔව්හු තිගැස්සී ශෝක වන්නෝ ය.
6පිනීසියේ සෙනඟෙනි, ශෝකයෙන් කෑමොරගසන්න. නුඹලා තර්ෂිෂ් වරායට පලා යන්න උත්සාහ කරන්නහු ද?
7මෙය මීට බොහෝ ඈත කාලයක දී පිහිටුවන ලද ප්‍රීතිමත් නගරය විය හැකි ද? යටත් විජිත පිහිටුවන පිණිස මුහුදින් එතෙර පදිංචිකාරයන් යවන ලද්දේ මේ නගරයෙන් ද?
8ලෝ වැසි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාජකීය වෙළෙඳුන් විසූ, අධිරාජ නගරයක් වූ තීර්ට විරුද්ධ ව මෙය යෝජනා කෙළේ කවරෙක් ද?
9ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය.
10තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත.
11සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.
12“සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.