යෙසායා 35:1-10 SINRV2006 - Bible AI

1වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝ ය; කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය.

2එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.

3බෙලහීන අත් බලවත්කර, වෙවුළන දණ හිස් ශක්තිමත් කරන්න;

4බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”

5අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය. බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය.

6කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය. මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය.

7මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි. සිවලුන් ලැගුම් ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේ ය.

8ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.

9සිංහයෝ එහි නොවෙති, දරුණු මෘගයෝ එමඟෙහි හමු නොවෙති, සමිඳුන් විසින් මුදාගනු ලැබූ අය පමණක් එහි ගමන් ගනිති.

10ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.

Ceylon Bible Society
/div>