යෙසායා 4:1-6 SINRV2006 - Bible AI

1ඒ කාලයේ දී, ස්ත්‍රීන් හත්දෙනෙක් එක මිනිසෙකු අල්ලාගෙන, “තනිව සිටීමේ නින්දාව පහ කරගන්න පිණිස නුඹ අපේ ස්වාමි පුරුෂයා යයි කියන්න අපට ඉඩ දුන මැනව; අපේ කෑම බීම හා ඇඳුම්පැළඳුම් අපට ම සපයාගත හැකි යැ”යි කියන්නෝ ය.

2සමිඳාණන් වහන්සේගේ අංකුරය අලංකාර ව හා සරුසාර ව වැඩෙන කාලයක් පැමිණෙන්නේ ය. ඉශ්රායෙල්හි ඉතිරි ව සිටින සෙනඟ භූමියෙන් හටගන්න අස්වැන්න ගැන ආඩම්බර වෙති. ප්‍රීති වෙති.

3ජෙරුසලමේ ඉතිරි ව සිටින අය එනම්, විනාශ නොවී ජීවත් ව සිටින පිණිස දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ අය, ‘ශුද්ධවන්තයෝ යැ’යි කියනු ලබන්නෝ ය.

4සමිඳාණන් වහන්සේ ස්වකීය බලයෙන් සියොන්හි ස්ත්‍රීන් විනිශ්චයකර, පිරිසිදුකර ජෙරුසලමේ අපරාධය ද එහි වගුරුවනු ලැබූ ලේ ද සෝදා හරින සේක.

5එවිට උන් වහන්සේ සියොන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහළින් දවාලේ වලාකුළක් ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක් ද මවා එවන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරය වසා ගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන් වන්නේ ය.

6එය දාවල් ග්‍රීෂ්මයෙන් මුවා වීමට සෙවණක් පිණිසත්, රක්ෂා ස්ථානයක් පිණිසත් කුණාටුවෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා වීමට ස්ථානයක් පිණිසත් වන්නේ ය.

Ceylon Bible Society
iv>