1ⓗසමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “කන්‍යාවක වැනි බබිලොන් දුව බැස අවුත් බිම දූවිල්ලේ හිඳගන්න. බබිලොන් අඟන! සිංහාසනයෙන් බැස අවුත් බිම හිඳගන්න. තවත් නුඹ ‘සුමුදු සුවිනීත ලතාවකැ’යි කියනු නොලබන්නෙහි ය.
2ඇඹරුම් ගල් ගෙන පිටි අඹරන්න. මුහුණු වැස්ම ඉවත දමන්න. උඩ සළුව ගලවාදමා, කකුල් නග්න ව තබාගෙන, ගංගාවලින් එගොඩ වී යන්න.
3නුඹේ නග්න භාවය පෙනෙන්නේ ය; නුඹේ ලජ්ජාව එළි වන්නේ ය. මම පළිගන්නෙමි. කිසිවෙකුට මා නතර කළ නොහැකි ය.
4ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ අප නිදහස් කරන සේක. එතුමාණන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය.
5බබිලොන් අඟන නිශ්ශබ්ද ව අන්ධකාරයට ඇතුළු වන්න. තවත් ‘නුඹ ජාතීන්ගේ රැජින ය’යි නොකියනු ලබන්නෙහි ය.
6මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.
7නුඹ සැම කල්හි ම රැජිනක ව සිටිනු ඇතැ යි සිතා, මේ දේවල් සිතට ගත්තේ වත්, ඒවායේ ප්‍රතිඵල සිහි කෙළේ වත් නැත.
8ⓘ‘සැප ජීවිකාවට ඇලුම් ව සුරක්ෂිත ව සිටිමි. මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැත; කිසි කලක දරුවන් නැති වී වියෝ දුකට පත් වූ කෙනෙක් හෝ වැන්දඹුවක් හෝ නොවන්නෙමි’යි තමන් තුළ සිතූ බබිලෝනිය, මෙයට සවන් දෙන්න.
9මේ කරුණු දෙක ම එනම්, දරුවන් නැති වීම ද වැන්දඹුවක වීම ද එක දවසේ හදිසියේ ම නුඹට පැමිණෙන්නේ ය. එය වැළැක්වීමට නුඹේ යන්ත්‍ර මන්ත්‍රවලින් හා සිව් සැට මායම්වලින් වැඩක් වන්නේ නැත.
10නුඹ දුෂ්ටකමෙහි නිරත වී සිට කිසිවෙකු නුඹ නොදකිති යි සිතුවෙහි ය. නුඹේ ප්‍රඥාව හා දැනුම නිසා නුඹ මුළා වී, ‘මට වඩා මහේශාක්‍ය කෙනෙක් නැතැ’යි කියාගත්තෙහි ය.
11ඒ නිසා විපත්ති නුඹ පිට පැමිණෙන්නේ ය. එය මන්ත්‍රයකින් නවත්වන්න නොහැකි ය. නුඹට වළක්වන්න බැරි නාස්තියක් නුඹ පිට පැමිණෙන්නේ ය. නුඹ නොසිතූ විරූ විනාශයක් හදිසියෙන් නුඹ පිට වැටෙන්නේ ය.
12නුඹ තරුණ කාලයේ සිට ම වෙහෙස මහන්සි දරා, පුරුදුපුහුණු කළ නුඹේ මන්ත්‍ර හා මායම් භාවිත කරන්න. සමහරවිට ඒවායින් නුඹට යම් වාසියක් ලැබෙනු ඇත. සමහරවිට ඒවායින් නුඹේ සතුරන් බිය ගැන්විය හැක.
13ඉතින් නක්ෂත්‍රකාරයෝ ද නැකත් බලන්නෝ ද අමාවක් දවස්වල දී ශුභ අශුභ කියන්නෝ ද ඉදිරියට පැමිණ නුඹට සිදු වන්න යන දෙයින් නුඹ ගළවා ගනිත් වා! ඔවුන්ගේ අවවාද නුඹ ලැබූ නමුත්, ඒවායින් නුඹ වෙහෙසට පත් වී ඇත.
14ඔව්හු ඉපනැලි මෙන් වන්නෝ ය; ගින්න ඔවුන් දවන්නේ ය. ගිනි දැල්ලේ බලයෙන් තමන් ම ගළවාගන්න ඔවුන්ට නොහැකි ය. ඒ ගින්න වනාහි තපින පිණිස අඟුරු ගොඩක් වත්, ළං වී සිට උණුසුම ලබන පිණිස ගින්නක් වත් නොවන්නේ ය.
15තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”