යෙසායා 48:1-22 SINRV2006 - Bible AI

1ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ.

2එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින් පාරට්ටු කරගන්නහු ය.

3සමිඳාණෝ ඉශ්රායෙල්වරුන්ට මෙසේ වදාරන සේක: “අතීතයේ සිට සිදු වූ සෑම දෙයක් ම මා මුවින් නුඹලාට ප්‍රකාශ කෙළෙමි. මා ක්‍රියා කළ විගස ම ඒවා සිදු විය.

4යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.

5නුඹට සිදු වන්න යන දේ, සිදු වන්න බොහෝ කල් තියා, පුරාණයේ සිට ම මම නුඹට දැන්වීමි. මා එසේ දැන්වූයේ, ‘නුඹලාගේ දේව රූප ඒවා සිදු කෙළේ ය’ කියා ද, ‘නුඹලාගේ කැටයම් රූප සහ වාත්තු කළ පිළිම ඒවා කෙළේ ය’ කියා ද නුඹට කියන්න බැරි වන පිණිස ය.

6මා පෙර කී සියලු දේ දැන් සිදු වී ඇත. මාගේ අනාවැකි සිදු වී ඇති බව නුඹ පිළිගත යුතු ය. දැන්, මම කලින් නුඹට ප්‍රකාශ නොකළ මතු සිදු වන්න යන අලුත් දේවල් ප්‍රකාශ කරමි.

7ඒවා සිදු වන්න මා සලස්වන්නේ දැන් ය. පෙර එවැන්නක් සිදු නො වී ය. සිදුවිණි නම්, නුඹලා ඒ ගැන දැන සිටියහු යයි කියනු ඇත.

8මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්, ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ, නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය.

9මාගේ නමට සෙනඟ ප්‍රශංසා කරන පිණිස, මාගේ කෝපයට ඉඩ නො දී එය වළලවා මම නුඹ විනාශ නොකෙළෙමි.

10ගිනි උදුනක රිදී මෙන් නොව ශෝකය නමැති ගින්නෙන් මම නුඹ සෝදිසිකර බැලුවෙමි.

11මා කරන දේ මා කරන්නේ මා උදෙසා ම ය. මාගේ නාමය කෙලෙසන්නට වත්, මට ම අයිති, මට පමණක් හිමි, මාගේ ගෞරවය වෙන කිසිවෙකුට ගන්න වත් මම ඉඩ නොදෙමි.”

12“මා කැඳවාගත් ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් පුත්‍රයෙනි, මට සවන් දෙන්න. පටන්ගැන්ම මම ය; අවසානය ද මම ය; දෙවිඳාණෝ මම ය.

13පොළොවේ අත්තිවාරම් මාගේ අතින් ම මම දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඬගැසූ විට ඒවා මා ඉදිරියට පැමිණේ.

14නුඹලා සියලු දෙනා රැස් ව සවන් දෙන්න. මා තෝරාගත් තැනැත්තා බබිලෝනියට පහර දී, මා කියන දේ කරන බවට නුඹලාගේ දෙවිවරුන්ගෙන් කිසිවෙක් වත් අනාවැකියක් කීවෝ ද?

15ඔහුට කතා කොට, ඔහු කැඳවූ තැනැන් වහන්සේ මම ය. ඔහුට මඟපෙන්වා ජය අත්කර දුන්නේ මම ය.

16දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න. මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය.

17නුඹලාගේ මිදුම්කාරයාණන් ද ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ යහපත පිණිස නුඹලාට උගන්වන, යා යුතු හරි මඟ නුඹලාට පෙන්වන, නුඹලාගේ දෙවි සමිඳාණෝ මම ය.

18නුඹලා මාගේ ආඥාවලට සවන් දුන්නහු නම්, මාගේ ආශීර්වාද නොසිඳී ගලන ගඟක් සේ නුඹලා කරා ගලා එන්නේ ය. මුහුදේ රළ පතර මෙන් දැහැමිකම නුඹලා වෙත පැමිණෙන්නේ ය.

19නුඹලාගේ දරු පරම්පරාව වැලි ඇට මෙන් බහුල වන්නෝ ය. ඔවුන්ගේ නම මැකී යන්නේ වත්, මා ඉදිරියෙන් ඔවුන් කිසි කලක විනාශ වන්නේ වත් නැත.”

20නිදහස ලබා, බබිලෝනියෙන් පිට වී යන්න. බබිලෝනිවරුන් වෙතින් බේරී යන්න. “සමිඳාණෝ සිය සේවක ඉශ්රායෙල් මුදාගත් සේකැ”යි කියමින් ප්‍රීති ඝෝෂා පවත්වා ලොව පුරා පතුරුවන්න.

21සමිඳාණන් වහන්සේ සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය විට ඔවුන්ට පිපාසයක් නො වී ය. එතුමාණෝ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්න සැලැස්සූ සේක. එතුමන් පර්වතය විවර කළ විට වතුර ගලා ආයේ ය.

22“අදමිටුවන්ට සාමය අහිමි වේ ය”යි සමිඳාණෝ වදාරන සේක.

Ceylon Bible Society
/div>