යෙසායා 50:1-11 SINRV2006 - Bible AI

1සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.

2ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.

3මම අහස අඳුරු කරන්නෙමි. එය ගෝණි රෙදි හැඳගත් ශෝක වන්නෙකු මෙන් කරන්නෙමි.”

4විඩාවට පත්වූවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෝත්තම දෙවි සමිඳාණෝ හැම උදයක ම මා තුළ උනන්දුවක් ඇති කරවන සේක.

5දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත.

6මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි.

7මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි.

8මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය; එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක. මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද? අපි දෙදෙනා ම විනිශ්චයයට යමු; ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා!

9මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.

10ඔබ අතරෙන් සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති අය එතුමන්ගේ සේවකයා කියන දේට සවන් දෙන්න. තමන්ට ආලෝකයක් නැති ව, අන්ධකාරයෙහි ඇවිදින අය සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න: එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න!

11ගින්නක් දල්වන, ගිනි අඟුරු මොළවන සියල්ලෙනි, අනුන් විනාශ කරන්න උපා යොදන ඔබ ඔබේ ම උපායවලින් විනාශ වන්නහු ය. සමිඳුන් අතින් ම එය සැලසෙනු ඇත. ඔබ භයංකර විපතකට පත්වන්නහු ය.

Ceylon Bible Society
/div>