1ⓛ“පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න.
2කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”
3ⓜ“මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
4දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි.
5නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.”
6හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න.
7දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.
8සමිඳාණන් වන මම මෙසේ පවසමි. “මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ; මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ.
9අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.”
10ⓝ“අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි.
11එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.”
12“නුඹලා ප්‍රීතියෙන් බබිලෝනියෙන් නික්ම යන්නහු ය. සාමදානයෙන් නගරයෙන් ගෙනයනු ලබන්නහු ය. කඳු හෙල් නුඹලා ඉදිරියේ බියෙන් ඉපිළෙයි. වනයේ සියලු ගස් කොළන් අත් පොළසන් දෙයි.
13කටු ගස් වෙනුවට දේවදාර ගස් ද ගොකටු වෙනුවට මරඳ ගස් ද හටගනියි. මෙය සමිඳුන්ගේ නමට සදහට පවතින සලකුණක් වන්නේ ය. එතුමන්ට මැකී නොයන සිහිවටනයක් වන්නේ ය.”