යෙසායා 59:1-21 SINRV2006 - Bible AI

1ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත.

2නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.

3නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.

4යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,

5මකුළු දැල් වියන සේ උපායයන් යොදන්නෝ ය. පොළොං බිජු අනුභව කරන්නෝ නසින්නෝ ය. බිජුවක් බිඳින විට එයින් තවත් පොළඟෙක් නික්ම එයි.

6එහෙත්, ඒ උපායයන් ඇඳුම් සඳහා මකුළු දැල් වියාගැනීමක් මෙන් නිෂ්ඵල ය. නුඹලාගේ වැඩ අපරාධ වැඩ ය. නුඹලාගේ අත්වලින් නිතර බලහත්කාරකම් කරන්නහු ය.

7නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය. නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය. නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය. නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ.

8සාම මාර්ගය නුඹලා නොදන්නහු ය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති.

9සෙනඟ මෙසේ කියති: “යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරු ව තිබෙන්නේ මන්දැ යි අපි දනිමු. අප එළිය සොයන නමුත්, ඇත්තේ අන්ධකාරය ය; දීප්තිය සොයන නමුත්, අප යන්නේ කළුවරෙහි ය.

10අන්ධයන් මෙන් අපි බිත්ති අත පත ගාමින් මඟ සොයමු. ඉර මුදුන් වේලාවේ අපි අඳුරේ මෙන් පැකිළී, ජීවතුන් මැද මළවුන් මෙන් සිටිමු.

11අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු; කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු. අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත; ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.

12සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය; අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි. ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු.

13අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.

14යුක්තිය බැහැර කොට ඇත; දැහැමිකම දුරින් දුරු වී ඇත. සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත. ඇත්තට තැනක් නැත.

15සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”

16පීඩිතයන්ට උපකාර කිරීමට කිසිවෙකු නැති බව දැක එතුමාණෝ පුදුම වූ සේක. එබැවින් එතුමාණෝ ඔවුන් ගැළවීමටත්, ඔවුන්ට ජය අත්පත් කර දීමටත් සිය බලය මෙහෙයවන සේක.

17එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක. පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක.

18එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක.

19එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.

20සමිඳාණෝ සෙනඟට මෙසේ වදාරන සේක: “පාපයෙන් හැරෙන ජාකොබ්ගේ වංශයේ සියලු දෙනා ගළවන්නත්, ජෙරුසලමේ සිටින නුඹලා ආරක්ෂා කරන්නත් මම එන්නෙමි.

21නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”

Ceylon Bible Society
/div>