යෙසායා 61:1-11 SINRV2006 - Bible AI

1 මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.

2සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක.

3සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.

4ඔව්හු පැරණි නටබුන් ගොඩනඟති; නැති නාස්ති වූ තැන් අලුත්වැඩියා කරති; පරම්පරා ගණනාවක් තුළ නටබුන් ව පාළු ව තිබුණ නගර ප්‍රතිසංස්කරණය කරති.

5විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය.

6එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය. මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත.

7නුඹලාගේ ලජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරවය ලබන්නහු ය. නින්දාව වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීති වන්නහු ය. නුඹලාගේ දේශයෙහි නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහු ය. නුඹලාට සදා ප්‍රීතිය හිමි වන්නේ ය.

8සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි. එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි. සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි.

9ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය. ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.”

10මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.

11පොළොව අලුත් පැළෑටි උපදවන්නාක් මෙන් ද උයන එහි වපුළ දේ ලියලවන්නාක් මෙන් ද මහෝත්තම සමිඳුන් වන දෙවිඳාණෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හට ගන්වන සේක.

Ceylon Bible Society
/div>