1ⓔඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද? ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.
2ඔබේ ඇඳුම් රතු ව තිබෙන්නේ කුමක් නිසා ද? ඔබේ වස්ත්‍ර මිදි පැසේ මිදි පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ කුමක් නිසා ද?
3ⓕසමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “මම මිදි යන්ත්‍රයක මිදි පල මෙන් ජාතීන් තනියම පෑගුවෙමි. මාගේ උදව්වට සෙනඟගෙන් කිසිවෙක් නොසිටියේ ය. එමෙන් මාගේ උදහසින් ඔවුන් පෑගුවෙමි. මාගේ කෝපයෙන් ඔවුන් පොඩි කෙළෙමි. ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසී තිබේ; එයින් මාගේ සියලු ඇඳුම් කැළැල් වී ඇත.
4මාගේ සෙනඟ ගළවාගත යුතු කාලය පැමිණ ඇති බවත්, ඔවුන්ගේ සතුරන්ට දඬුවම් දිය යුතු දවස පැමිණ ඇති බවත් මම සිතට ගතිමි.
5ⓖමා බැලූ කල මට උදව් වන්න කිසිවෙකු නොසිටි බව දුටු විට මම පුදුම වීමි. එහෙත්, මාගේ කෝපයෙන් මම වේගවත් ව මාගේ ම ශක්තියෙන් ජය අත්කර ගතිමි.
6මාගේ උදහසින් ජාතීන් පාගාදමා, මාගේ කෝපයෙන් ඔවුන් මත් කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙව්වෙමි.”
7සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.
8‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක. ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.
9ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.
10එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.
11එහෙත්, ඔව්හු සමිඳුන්ගේ සේවක මෝසෙස් සිටි අතීත කාලය සිහි කර මෙසේ ප්‍රශ්න කළහ. එතුමන්ගේ සෙනඟගේ නායකයන් මුහුදෙන් ගළවාගත් සමිඳාණෝ දැන් කොහේ ද? තමන්ගේ ශුද්ධ ආත්මානුභාවය ඔහුට දුන් තැනැන් වහන්සේ කොහේ ද?
12ⓗසදාකාල කීර්තිය තමන්ට ලබාගන්න පිණිස ස්වකීය බලය මෙහෙයවා මෝසෙස් ලවා බලවත් දේ කළ,
13කාන්තාරයේ යන අශ්වයන් මෙන් නොපැකිළෙන හැටියට ඔවුන් ගැඹුර මැදින් ගෙන ගිය තැනැන් වහන්සේ කොහේ ද?
14ගව රැළ මිටියාවතට බසින්නාක් මෙන් සමිඳුන්ගේ ආත්මානුභාව ඔවුන් විශ්‍රාමයට ගෙන ගියේ ය. ඔබට තෙදවත් නමක් දිනාගන්න පිණිස සමිඳාණෝ ඔබේ සෙනඟ කැඳවාගෙන ගිය සේක.
15සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව. අප කෙරේ සැලකිල්ල කොයි ද? ඔබේ බලය කොහි ද? ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.
16ඔබ අපේ පියාණෝ ය; ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය. එය අතීතයේ සිට ඔබේ නාමය වේ.
17සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.
18ටික කලකට ඔබ වහන්සේගේ ශුද්ධ සෙනඟ ශුද්ධස්ථානය අත්කර ගත්හ. එහෙත් අපේ සතුරෝ එය පාගා දැමූහ.
19අපි ඔබ විසින් කිසි කලක පාලනය නොකරන ලද්දවුන් මෙන් ද ඔබේ නාමය නොදරන ලද අය මෙන් ද වී සිටියෙමු.