යෙසායා 9:1-21 SINRV2006 - Bible AI

1එක් කාලයක දී සාබුලොන් රට ද නප්තලී රට ද අපකීර්තියට පත් වූ නමුත්, අනාගතයේ දී, මධ්‍යධරණි මුහුදේ සිට නැගෙනහිර දෙසට ජොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පළාතට එනම්, විදේශීන් වාසය කරන ගලීලය දේශයට ගෞරව පැමිණෙන්නේ ය.

2අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.

3ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.

4මන්ද යත්, ඔවුන්ට බරක් වූ වියගහ ද කර මත තැබූ වියදණ්ඩ ද ඔබ කඩාදැමූ සේක. පෙර කලක ඔබ මිදියන් හමුදා පරාජය කළාක් මෙන් ඔවුන්ට පීඩා කළ ජාතිය ඔබ විසින් පරාජය කරනු ලැබී ය.

5ආක්‍රමණය කරන හමුදාවේ පාවහන් ද ලෙයින් තැවරුණු ඔවුන්ගේ ඇඳුම් සියල්ල ද ගින්නෙන් දවාලනු ලැබේ.

6අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.

7එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”

8සමිඳුන් ඉශ්රායෙල් රාජ්‍යයේ ජාකොබ් වංශය කෙරෙහි විනිශ්චය ප්‍රකාශ කර ඇත.

9සමිඳුන් මෙසේ කර ඇති බව ඉශ්රායෙල්හි සකල ජනයා ද සමාරියේ සිටින සියලු දෙනා ද දැන ගන්නෝ ය. ඔව්හු එඩිතරකමෙන් ද අහංකාරයෙන් ද මෙසේ කියති:

10“ගඩොල්වලින් තැනූ ගොඩනැඟිලි ගරාවැටී ඇතත්, ඒ වෙනුවට කැපූ ගලින් අපි ගොඩනැඟිලි තනන්නෙමු. අත්තික්කා ලී බාල්ක කපාදමා ඇතත්, ඒ වෙනුවට අපි ඉස්තරම් කිහිරි ලී බාල්ක යොදන්නෙමු.”

11සමිඳුන් රෙශීන්ගේ සතුරන් ඔවුන්ට පහර දෙන පිණිස පොළඹවා ඇත.

12නැගෙනහිරෙන් සිරියාව ද බටහිරෙන් පලස්තීනය ද ඉශ්රායෙල් ගිලගන්න කට අයාගෙන සිටියි. එසේ වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන්න එතුමන් හස්තය තවම දිගු කර ඇත.

13ඉශ්රායෙල් සෙනඟ ඔවුන්ට දඬුවම් කළ සමිඳුන් වෙත හැරී නැත. ඔවුන් සව් බලැති සමිඳුන් සෙව්වේ නැත.

14එබැවින් එක දවසක දී සමිඳාණෝ ඉශ්රායෙල්හි ඔලීව අතු වැනි නායකයන්ට ද බට ගස් වැනි සෙනඟට ද පහර දී එහි හිසත් වල්ගයත් ගසාදමන සේක.

15හිස යන්නෙන් අදහස් කරන්නේ වයස්ගත ගරුකටයුතු අය ය; වල්ගය යන්නෙන් අදහස් කරන්නේ මුසාවාදී දිවැසිවරු ය.

16සෙනඟට මඟපෙන්වන්නන් ඔවුන් නොමඟ යවා වියවුල් කර ඇත.

17එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.

18සෙනඟගේ දුෂ්ටකම කටු පඳුරු හා ගොකටු දවාලන ගින්නක් වැනි ය; දුම් කඳ ඉහළට නංවන ලැව් ගින්නක් වැනි ය.

19සව් බලැති සමිඳුන්ගේ උදහසින් දේශය දැවී යන්නේ ය; සෙනඟ ද ගින්දරට දර මෙන් වන්නෝ ය. කිසිවෙකු තමා හැර තම සහෝදරයා ගැන සලකන්නේ නැත.

20දේශයේ සෑම තැනම සෙනඟට සොයාගත හැකි කෑම සියල්ලක්ම ඔවුන් කන නමුත්, ඒවා පැහැරගෙන කන නමුත්, ඔවුන්ගේ කුසගින්න නොනිවෙන්නේ ය. ඔවුහු තම දරුවන්ගේ මාංසය වුව ද කන්නෝ ය.

21මනස්සේ රටේ සෙනඟ ද එප්‍රායිම් රටේ සෙනඟ ද එකිනෙකාට විරුද්ධ ව සටන් කරති. දෙගොල්ලෝ ම එකතු වී ජුදාවට පහර දෙති. මේ සියල්ල සිදු වුවත්, සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තව ම දිගු කර ඇත.

Ceylon Bible Society
div>