1සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,
2“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක.
3“ආලේප ලත් පූජකවරයා සෙනඟ පිට වරද පමුණුවමින් පව් කෙළේ නම්, තමා කළ පාපය සඳහා පාප පූජාවක් වශයෙන් නොකැළැල් ගොන් වස්සෙකු සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
4ඔහු ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟට ඌ ගෙනවුත් උගේ හිස මත අත තබා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය.
5පසුව ආලේප ලත් පූජකවරයා වස්සාගේ ලේ මඳක් රැගෙන සම්මුඛ මණ්ඩපයට ගෙන ආ යුතු ය.
6ඔහු ද තම ඇඟිල්ල ලේවල ගල්වා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධස්ථානයේ තිරය මත හත් වරක් එය ඉසිය යුතු ය.
7ඉන්පසු ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත එම ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.
8“තවද, ඔහු පාප පූජාව සඳහා පිදූ වස්සාගේ සියලු තෙල් එනම්, අතුණු වසා තිබූ තෙල හා අතුණු පිට වූ තෙල සම්පූර්ණයෙන් ද
9වකුගඩු දෙක හා ඒවා මත තුනටිය පෙදෙසහි ඇති තෙල ද වකුගඩු සමඟ අක්මාව පිට ඇති සිවිය ද අහකට ගත යුතු ය.
10සහභාගිකමේ පූජාවට පිදූ ගොනාගේ කොටස් ඉවතට ගත් ලෙස, පූජකවරයා ඒවා ගෙන, දවන යාගය පුදන පූජාසනයේ දැවිය යුතු ය.
11ඉන්පසු ඔහු වස්සාගේ සම ද මස් සියල්ල ද හිස ද කකුල් ද අතුණු සහ ගොම ද
12යන කොටස් සියල්ල ම කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙන ගොස්, දර පිට තබා ගින්නෙන් දැවිය යුතු ය. මෙලෙස ඌ දැවිය යුත්තේ අළු දමන ස්ථානයක ය.”
13“මුළු ඉශ්රායෙල් ජනතාව අදහස් නොකර ද, සභාව නොදැනුවත්ව ද පව් කරමින්, තහනම් දෙයක් කොට සමිඳාණන් වහන්සේගේ යම් කිසි පණතක් කඩ කොට වැරදිකරුවන් වුවහොත්,
14ඔවුන් වැරදිකරුවන් වීමට හේතු වූ පාපය දැනගත් කල, පාපය උදෙසා ජනතාව ගොන් වස්සෙකු පුද කොට, සම්මුඛ මණ්ඩපය ඉදිරියට ඌ ගෙනා යුතු ය.
15ප්‍රජා මූලිකයන් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒ වස්සාගේ හිස පිට අත් තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඌ මැරිය යුතු ය.
16ආලේප ලත් පූජකවරයා ද වස්සාගේ ලේ මඳක් සම්මුඛ මණ්ඩපයට ගෙනා යුතු ය.
17පසුව ඔහු ලේවල තම ඇඟිල්ල ගල්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිරය මත හත්වරක් ඉසිය යුතු ය.
18ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.
19ඔහු උගේ තෙල ද සම්පූර්ණයෙන් ම රැගෙන, පූජාසනය පිට එය දැවිය යුතු ය.
20පාප පූජාව සඳහා පිදූ වස්සාට කළ ලෙස ඔහු මේ වස්සාට ද කළ යුතු ය. මෙසේ පූජකවරයා සෙනඟ උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඔවුන්ගේ පව් කමා කරනු ලැබේ.
21ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”
22“අධිපතියෙකු අදහස් නොකර පව් කරමින්, තම දෙවි සමිඳාණන් වහන්සේගේ පණත්වලින් තහනම් කළ දෙයක් කර, වැරදිකරුවෙකු වී,
23තමා කළ පාපය දන්වනු ලැබූ කල, ඔහු තම පූජාව පිණිස එළුවන්ගෙන් නොකැළැල් පිරිමි සතෙකු ගෙනා යුතු ය.
24ඔහු ද එළුවාගේ හිස මත තම අත තබා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාගයට ගත් සතා මැරූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය. මෙය පාප පූජාවකි.
25පසුව පූජකවරයා පාප පූජාවට පිදූ සතාගේ ලෙයින් ටිකක් ඇඟිල්ලෙන් ගෙන දවන යාගය පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ලෙයින් ඉතිරි කොටස දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.
26ඉන්පසු ඔහු සහභාගිකමේ පූජාවලට පිදූ සතුන්ගේ තෙලට කළ ලෙස, උගේ තෙල සම්පූර්ණයෙන් ම පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහුගේ පාපයට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු එය ඔහුට කමා කරනු ලැබේ.”
27
28තමා කළ පාපය දන්වනු ලැබූ පසු, ඔහු තමා කළ පාපය වෙනුවට නොකැළැල් එළුදෙනක පූජාව වශයෙන් ගෙනා යුතු ය.
29ඔහු ඒ සතාගේ හිස මත අත තබා, දවන යාග පිදූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය.
30ඉන්පසු පූජකවරයා උගේ ලෙයින් ටිකක් තම ඇඟිල්ලෙන් ගෙන දවන යාග පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ඉතිරි ලේ සියල්ල පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.
31පසුව සහභාගිකමේ පූජාවලින් තෙල ඉවතට ගත් ලෙස උගේ තෙල ද ඉවතට ගෙන, සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඒවා ඔහුට කමා කරනු ලැබේ.
32තවද, ඔහු පාප පූජාව සඳහා බැටළුවෙකු ගෙනෙන්නේ නම්, ඌ නොකැළැල් බැටළුදෙනක විය යුතු ය.
33ඔහු ඒ සතාගේ හිස පිට අත තබා, පාප පූජාව සඳහා දවන යාග පූජාවට ගත් සතා මැරූ ස්ථානයෙහි ම ඌ මැරිය යුතු ය.
34පූජකවරයා ද උගේ ලෙයින් ටිකක් තම ඇඟිල්ලෙන් ගෙන දවන යාගය පුදන පූජාසනයේ අං මත දැමිය යුතු ය. ඉතිරි ලේ සියල්ල පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.
35පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”