1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
2“ආරොන් සහ ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් ද පූජක වස්ත්‍ර සහ ආලේප තෛලය ද පාප පූජාව සඳහා වස්සෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද නුමුහුන් රොටි පැස ද ගෙන
3මුළු ජනතාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස් කරවන්නැ”යි වදාළ සේක.
4සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කළ විට, මුළු සභාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස්වූ හ.
5එවිට ඔහු ජනතාව අමතමින්: “සමිඳාණන් වහන්සේ ඉටු කිරීමට අණ කළ දේ මේ ය”යි කී ය.
6ඉන්පසු ඔහු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන් නෑවුවේ ය.
7පසුව මෝසෙස් ඔහුට කබාය හඳවා, ඉඟපටිය බැඳ, සළුව පළඳවා, ඒපොද් නම් සැට්ටය ඔහු පිට දමා, එම සැට්ටයේ ගෙත්තම් කළ පටියෙන් ඔහු ඉණ වටකර බැඳ එය සවි කෙළේ ය.
8ඉන්පසු ළය වැස්ම ද ඔහුට පළඳවා එය තුළ ඌරිම් සහ තුම්මිම් යන පස ඇට දැමී ය.
9ඔහුගේ හිස මත මකුටය ද ඊට උඩින් ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ කිරීටය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තැබුවේ ය.
10ඉන්පසු මෝසෙස් ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එය තුළ වූ සියල්ලත් ආලේප කොට කැප කෙළේ ය.
11ඔහු ඒ තෛලය පූජාසනය මත හත්වරක් ඉස, පූජාසනය ද එහි සියලු උපකරණ ද වතුර භාජන හා එහි අඩිය ද ආලේප කොට කැප කෙළේ ය.
12පසුව ඔහු ආලේප තෛලය ආරොන්ගේ හිස මත වත් කොට ඔහු කැප කරමින් ආලේප කෙළේ ය.
13එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.
14ඔහු ද පාප පූජාවට පුදන වස්සා ගෙනා කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ එම වස්සාගේ හිස මත තම අත් තැබූ හ.
15ඉන්පසු මෝසෙස් ඌ මරා, උගේ ලේ ගෙන, තම ඇඟිල්ලෙන් පූජාසනය වටේට තිබූ අං මත එය තවරා, පූජාසනයේ දොස් පහකොට, එහි පාමුල ඉතිරි ලේ වත් කොට එය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරමින් එය කැප කෙළේ ය.
16පසුව ඔහු සතාගේ අතුණු මත තිබූ තෙල සම්පූර්ණයෙන් ද අක්මාව වසා තිබූ සිවිය ද වකුගඩු දෙක සමඟ ඒවායේ තෙල ද ගෙන පූජාසනය මත දැවී ය;
17එහෙත්, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගවයාගේ ඉතිරි කොටස් වන උගේ හම සහ මාංසය ද ගොම ද කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.
18ඉන්පසු ඔහු දවන යාග පූජාව සඳහා බැටළුවා ගෙනා විට ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ උගේ හිස මත තම අත් තැබූ හ.
19මෝසෙස් ද ඌ මරා උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.
20ඉන්පසු ඔහු ඌ කෑලිවලට කපා, උගේ හිස ද කෑලි සහ තෙල ද ගින්නේ දැවී ය.
21ඔහු සතාගේ අතුණු හා කකුල් වතුරෙන් සෝදා සතා මුළුමනින් ම පූජාසනය මත දැවී ය. එය වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳක් සහිත දවන යාග පූජාවකි.
22පූජකයන් කැප කිරීමේ දී පුදන අනික් බැටළුවා ගෙනා කල, උගේ හිස මත ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තම අත් තැබූ හ.
23මෝසෙස් ද ඌ මරා, උගේ ලේ ගෙන, ආරොන්ගේ දකුණු කන්පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරී ය.
24පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.
25ඉන්පසු ඔහු සතාගේ තෙල ද එනම්, තර වල්ගය ද අතුණු මත තිබූ තෙල මුළුමනින් ම ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක හා ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත්තේ ය.
26පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ නුමුහුන් රොටි පැසෙන් එක නුමුහුන් රොටියක් ද තෙල් මිශ්‍ර රොටියක් ද එක තුනී රොටි පෙත්තක් ද ගෙන ඔහු ඒවා සතාගේ තෙල හා දකුණු ගාතය මත තබා
27මේ සියල්ල ම ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අත්වලට දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙරෙව්වේ ය.
28මෙසේ කළ පසු, මෝසෙස් ඒවා ඔවුන්ගේ අත්වලින් ගෙන පූජාසනයේ දවන යාග පූජාව මත දැවී ය. එය වනාහි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳැති කැප කිරීමේ පූජාවකි.
29ඉන්පසු මෝසෙස් සතාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, එය වනාහි කැප කිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ට හිමි කොටස වේ.
30ඉන්පසු මෝසෙස් ආලේප තෛලයෙන් හා පූජාසනය මත වූ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන් හා ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර මත ද ඉස, ආරොන් සහ ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද කැප කෙළේ ය.
31එවිට මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට කතා කොට, මා අණ කළ පරිදි, “සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඒ මාංස තම්බා, ‘ආරොන් සහ ඔහුගේ පුතුන් එය වැළඳිය යුතු ය’ කියා එහි දී කැප කිරීමට ගත් පැසේ ඇති රොටි සමඟ වළඳන්න.
32තවද, මස්වලින් හා රොටිවලින් ඉතිරි වන කොටස ගින්නේ දැවිය යුතු ය.
33කැප කිරීමේ දින ගණන අවසාන වන තෙක්, දින හතක් ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටතට නොයා යුතු ය. ඒ සඳහා දින හතක් ගත වේ.
34අප මෙදින කළ ලෙස ඔබේ පාපවලට කමාව අයැදිනු පිණිස සමිඳාණන් වහන්සේ මෙසේ කිරීමට අණ කළ සේක.
35එබැවින් ඔබ දිවා රෑ, හත්දිනක් සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේගේ අණ පිළිපදිමින් නැවතී සිටිය යුතු ය. එලෙස නොකළොත්, ඔබ නසින්නහු ය. මක්නිසා ද උන් වහන්සේ මට එසේ අණ කළ සේකැ”යි කීවේ ය.
36මෙලෙස ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ සියල්ල ඉටු කළහ.