විලාප ගී 3:1-66 SINRV2006 - Bible AI

1එතුමන්ගේ කෝපය නමැති දණ්ඩෙන් දුක අත්දුටු මිනිසා නම් මම ය.

2එතුමාණන් මා ගෙන ගොස් එළියෙහි නොව අන්ධකාරයෙහි ඇවිදින්නට සැලැසූ සේක.

3සැබැවින් ම එතුමාණෝ දවස මුළුල්ලේ මට යළි යළි නිර්දය ලෙස පහර දුන් සේක.

4එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක.

5එතුමාණෝ මට වියගහක් සාදා විඩාවෙන් මාගේ හිස වට කළ සේක.

6පුරාණයෙහි නැසී ගියවුන් මෙන් එතුමාණෝ අඳුරු තැන්වල විසීමට මට සැලැසූ සේක.

7බේරී යන්න බැරි වන ලෙස එතුමාණෝ මා කොටු කළ සේක. බර විලංගු මට දැමූ සේක.

8මා කෑගසා පිහිට ඉල්ලන නමුත්, එතුමාණෝ මාගේ යැදුමට සවන් නොදෙන සේක.

9එතුමාණෝ මාගේ මාර්ග කැපූ ගල්වලින් අහුරා මාගේ මාවත් අවහිර කළ සේක.

10එතුමාණෝ මා හට, මඟ රැක සිටින වලසෙකු ද රහස් තැන්වල සැඟවී සිටින සිංහයෙකු ද මෙන් වන සේක.

11එතුමාණෝ මාගේ මාර්ගයෙන් මා ඉවත් කොට මා කෑලිවලට ඉරාදැමූ සේක. මා පිළිකුලක් කළ සේක.

12එතුමාණෝ තම දුන්න තැත් කවා, ඊගසට ඉලක්කයක් කොට මා තැබූ සේක.

13එතුමාණෝ තම කොපුවේ ඊගස් මාගේ හදවතට විද්ද සේක.

14මම මාගේ මුළු සෙනඟට හිනාවක් ද දවස මුළුල්ලේ ඔවුන්ට කවටකමක් ද වී සිටිමි.

15එතුමාණෝ තිත්ත වේදනාවෙන් මා පුරවා මට කොසඹ පෙවූ සේක.

16එතුමාණෝ බොරළුවලින් මාගේ දත් බින්ද සේක; කෑම සඳහා මට අළු දුන් සේක.

17සාමය මාගෙන් තුරන් වී ඇත. සැපත යනු කුමක් දැ යි මට අමතක වී ඇත.

18දැන් මම මෙසේ කියමි: “මාගේ ශක්තිය පහ වී ගොස් ඇත. සමිඳුන් කෙරෙහි මාගේ බලාපොරොත්තුව තුරන් වී ඇත.”

19මාගේ ශෝකයත්, මාගේ පීඩාවත් මට සිහි වීම කොසඹ හා වස දිය වැනි ය.

20මම ඒ ගැන නිතර ම සිහි කරමි; මාගේ සිත අධෛර්යයට පත් වී ඇත.

21එහෙත්, මේ දේ මා සිහි කළ විට බලාපොරොත්තුව මට ඇති වන්නේ ය.

22“සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය.

23ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.”

24මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි.

25සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය.

26සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය.

27තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය.

28එතුමාණන් එය ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්ද ව සිටී වා!

29සමහර විට බලාපොරොත්තුවක් තිබිය හැකි බැවින් අප නැමී අවනත විය යුතු යි.

30ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ! නින්දාවෙන් පිරුණා වේ!

31මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත.

32එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක.

33මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක.

34දේශයේ සෑම හිරකාරයන් තළා පෙළා පොඩි කිරීම ද

35මහෝත්තමයාණන්ගේ මුහුණ ඉදිරියේ දී මිනිසුන්ගේ යුක්තිය පෙරළාදැමීම ද

36මිනිසෙකුට ඔහුගේ නඩුවේ දී අයුක්තිය කිරීම ද සමිඳාණෝ අනුමත නොකරන සේක.

37සමිඳාණෝ කැමැති නොවන සේක් නම්, කිසිවෙකුට කිසිවක් නොකළ හැකි ය.

38සැපතත් විපතත් ඇති වන්නේ, මහෝත්තමයාණන්ගේ නියමයෙන් නොවේ ද?

39අපේ පව් ගැන දඬුවම ලබන නිසා අප කොඳුරන්නේ කුමට ද?

40අපේ මාර්ග සෝදිසි කර විමසා සමිඳාණන් වෙත නැවත හැරෙමු.

41ස්වර්ගයෙහි සිටින දෙවිඳාණන් වෙත අපේ අතත් සිතත් ඔසවමු.

42“අපි වනාහි වරද කොට කැරලි ගැසීමු; ඔබ කමා නොකළ සේක.

43ඔබ වහන්සේ උදහසින් සැඟවී සිට අප පසුපස ලුහුබැඳ ආ සේක. අනුකම්පා නොකොට අප මරාදැමූ සේක.

44අපේ යැදුම ඔබ වෙත නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබ ම වසාගෙන සිටින සේක.

45ඔබ විජාතීන් අතරෙහි අප කසළ ගොඩක් මෙන් කළ සේක.

46අපේ සියලු සතුරෝ අපට විරුද්ධ ව බොහෝ සේ දොස් කී හ.

47භීතිය සහ පාතාලයත්, නාස්තිය සහ විනාශයත් අපට පැමිණ තිබේ.

48මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්වලින් කඳුළු ගංගා ගලා යයි.

49සමිඳාණන් ස්වර්ගයේ සිට බලා සලකන තුරු,

50මාගේ ඇස්වලින් නොනැවතී කඳුළු වැගිරෙයි.

51නගරයේ කාන්තාවන්ට සිදු වී ඇති දේ මා දකින විට මාගේ සිත කම්පා වෙයි.

52නිකරුණේ මට සතුරු ව සිටින අය කුරුල්ලෙකු මෙන් මා උගුලට අසු කරගත්හ.

53ඔව්හු පණපිටින් මා වළට හෙළාදමා මා පිට ගල් ද පැටවූ හ.

54වතුර මාගේ හිසට උඩින් ගලා ගියේ ය; “මාගේ අවසානය පැමිණ ඇතැ”යි මම කීමි.

55සමිඳුනි, මම ගැඹුරු පාතාලයේ සිට ඔබේ නාමය කියා යැදිමි.

56මාගේ මොරගැසීමට සවන් දෙන ලෙස මා බැගෑපත් ව ඉල්ලා සිටි විට ඔබ මට සවන් දුන් සේක.

57මා ඔබට යාච්ඤා කළ විට, ඔබ මට ළං වී, “බිය නොවන්නැ”යි මට වදාළ සේක.

58සමිඳුනි, ඔබ මා වෙනුවෙන් කරුණු වදාළ සේක. මාගේ ප්‍රාණය මිදූ සේක.

59සමිඳුනි, ඔබ මාගේ පීඩාව දුටු සේක; මට යුක්තිය ඉටු කර දුන මැනව.

60ඔවුන්ගේ සියලු ම පළිගැනීම් සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ දුටු සේක.

61සමිඳුනි, ඔවුන්ගේ නින්දා කිරීම සහ මට විරුද්ධ ව තිබෙන ඔවුන්ගේ සියලු උපා ඔබ ඇසූ සේක.

62මට විරුද්ධ ව නඟන වචන ද දවස මුළුල්ලේ මට විරුද්ධ ව යොදන ඔවුන්ගේ උපායයන් ද ඔබ ඇසූ සේක.

63ඔවුන් වාඩි වී සිටියත්, සිටගෙන සිටියත් ඔවුන්ගේ උපහාසයට මම ලක් වී සිටිමි.

64සමිඳුනි, ඔවුන්ගේ ක්‍රියා අනුව ඔබ ඔවුන්ට විපාක දුන මැනව.

65සිත් දැඩිකම වන සාපය ඔබ ඔවුන්ට දුන මැනව.

66ඔබ, උදහසින් ඔවුන් ලුහුබැඳ ගොස්, මිහි පිටින් ඔවුන් අතුගාදැමුව මැනව.”