වීරාවලිය 12:1-15 SINRV2006 - Bible AI

1එප්‍රායිම් වැසියෝ රැස් වී, උතුරු දිශාවට එතෙර වී ගොස් ජෙප්තාට කතා කොට, “ඔබ සමඟ යන පිණිස අපට ආරාධනා නොකොට, ඔබ අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට එගොඩට ගියේ මන් ද? අපි ඔබේ නිවෙස ඔබත් ඇතුළු ව ගින්නෙන් පුළුස්සා දමන්නෙමු”යි කී හ.

2ජෙප්තා ඔවුන්ට කතා කොට, “මාගේ සෙනඟත්, මමත් අම්මොන්වරුන්ට විරුද්ධ ව තදබල ආරාවුලක යෙදී සිටියෙමු. මා ඔබට අඬගැසූ නමුත්, ඔවුන්ගේ අතින් ඔබ මා නොගැළෙවුවහු ය.

3ඔබ මා නොගැළෙවු බව දුටු විට මම මාගේ ජීවිතය නොතකා, අම්මොන්වරුන්ට විරුද්ධ ව එගොඩට ගියෙමි. සමිඳාණන් වහන්සේ ඔවුන් මා අතට පාවා දුන් සේක. ඉතින් ඔබ හැම මට විරුද්ධ ව සටන් කරන්නට අද දවසේ මා වෙත ආවේ කුමක් නිසා දැ”යි කීවේ ය.

4එවිට ජෙප්තා ගිලියද්හි සියලු මිනිසුන් රැස් කරවාගෙන එප්‍රායිම්ට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. එසේ කෙළේ, “එප්‍රායිම්වරුන් හා මනස්සේවරුන් අතර වසන ගිලියද්වරුනි, ඔබ එප්‍රායිම් කෙරෙන් පලා ගිය අය යැ”යි එප්‍රායිම්වරුන් කී බැවිනි.

5ගිලියද්වරු එප්‍රායිම්ට යන ජොර්දාන් තොටුපොළවල් අල්ලාගත්තෝ ය. පලාගිය එප්‍රායිම්වරුන්ගෙන් යමෙකු අවුත්, “මට එගොඩ වන්නට අවසර දෙන්නැ”යි කී කල, ගිලියද් සෙනඟ, “ඔබ එප්‍රායිම් වැසියෙක් දැ”යි ඔහුගෙන් අසති. ඔහු “නැතැ”යි කීවොත්,

6“ ‘ෂිබ්බොලෙත්’ කියා කියාපන්නැ”යි ඔව්හු ඔහුට කියති. ඔහුට එය හරියට උච්චාරණය නොකළ හැකි ව, ‘සිබ්බොලෙත්’ කියා කීවොත්, ඔව්හු ඔහු අල්ලා ජොර්දාන් තොටුපොළවල් ළඟ මරති. ඒ අයුරින් එප්‍රායිම්වරුන්ගෙන් සතළිස්දෙදහසක් මැරුම්කෑවෝ ය.

7ජෙප්තා සය අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය. ඉන්පසු ගිලියද් වැසියෙකු වූ ජෙප්තා මියගියේ ය. ගිලියද්හි ඔහුගේ ම නගරයක ඔහු තැන්පත් කරන ලද්දේ ය.

8ජෙප්තාට පසුව බෙත්ලෙහෙම්හි ඉබ්ශාන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.

9ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් ද දූවරු තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔහු දූවරුන් තිස්දෙනා ඔහුගේ වංශයෙන් පිටත අයට සරණපාවා දී, ඔහුගේ පුත්‍රයන්ට පිටතින් කාන්තාවන් තිස්දෙනෙකු ගෙනාවේ ය. ඔහු සත් අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.

10ඉබ්ශාන් මියගිය පසු බෙත්ලෙහෙම්හි තැන්පත් කරන ලද්දේ ය.

11ඔහුට පසුව සාබුලොන් වැසියෙකු වූ ඒලොන් ඉශ්රායෙල් පාලනය කෙළේ ය. ඔහු දස අවුරුද්දක් ඉශ්රායෙල් පාලනය කෙළේ ය.

12සාබුලොන් වැසියෙකු වූ ඒලොන් මියගිය පසු සාබුලොන් රටේ තිබෙන අයාලෝන්හි තැන්පත් කරන ලද්දේ ය.

13ඔහුට පසුව පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.

14ඔහුට පුත්‍රයෝ සතළිස්දෙනෙක් ද මුණුබුරෝ තිස්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යන පිණිස කොටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. ඔහු අට අවුරුද්දක් ඉශ්රායෙල් රට පාලනය කෙළේ ය.

15පීරාතෝනි වැසියෙකු වූ හිල්ලෙල්ගේ පුත් අබ්දොන් ද මියගොස් එප්‍රායිම්හි අමලෙක්වරුන්ගේ කඳුකරයේ පීරාතෝන්හි තැන්පත් කරන ලද්දේ ය.

>