ශුද්ධවර මතෙව් 17:1-27 SINRV2006 - Bible AI

1 සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ඔහුගේ සහෝදර ජොහන් ද කැඳවාගෙන, වෙන් ව උස් කන්දකට වැඩිය සේක.

2උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය.

3එකෙණෙහි ම මෝසෙස් ද එලියා ද උන් වහන්සේ සමඟ කතා කරමින් සිටිනු ඔවුන්ට පෙනිණි.

4පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, “ස්වාමීනි, අපට මෙහි සිටින්න ලැබීම වාසනාවකි; ඔබ කැමැති සේක් නම්, මණ්ඩප තුනක්, එකක් ඔබට ද එකක් මෝසෙස්ට ද එකක් එලියාට ද සාදන්නෙමි”යි කී ය.

5 ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.

6ශ්‍රාවකයෝ ඒ අසා, අතිශයින් බියපත් වී මුහුණින් වැටුණාහ.

7ජේසුස් වහන්සේ අවුත්, ඔවුන්ට අත ගසා, “නැඟිටින්න, බිය නොවන්නැ”යි වදාළ සේක.

8ඇස් ඔසවා බැලූ කල ඔව්හු ජේසුස් වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝ ය.

9ඔවුන් කන්දෙන් බැස එද්දී ජේසුස් වහන්සේ කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන් කෙරෙන් නැඟිටින තුරු මේ දර්ශනය කිසිවෙකුට නොකියන්නැ”යි ඔවුන්ට අණ කළ සේක.

10 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කතා කොට, “එසේ නම්, එලියා පළමුවෙන් එන්න යුතු ය යි විනයධරයන් කියන්නේ මන්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.

11උන් වහන්සේ උත්තර දෙමින්, “එලියා එන බව ඒකාන්ත ය. ඔහු අවුත් සියල්ල යළි පිහිටුවන්නේ ය.

12 එහෙත්, ඔබට කියමි: එලියා දැනට ම පැමිණ සිටී, ඔව්හු ඔහු නොහැඳින, තමන් රිසි දෙය ඔහුට කළහ. එලෙස ම ඔවුන් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට ද පීඩා කරනු ඇතැ”යි ඔවුන්ට වදාළ සේක.

13උන් වහන්සේ මෙය කීවේ ස්නාවක ජොහන් ගැන බව ශ්‍රාවකයෝ තේරුම්ගත්හ.

14ඔවුන් සමූහයා ළඟට ආ කල, එක් මිනිසෙක් උන් වහන්සේ වෙත අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී,

15“ස්වාමීනි, මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව. ඔහු මීමැස්මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳියි; බොහෝ වර ගින්නෙහි ද වතුරෙහි ද වැටිණි;

16මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවෙමි; එහෙත්, ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් වී ය”යි කී ය.

17ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “අහෝ! ඇදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව, මා කොපමණ කල් ඔබ සමඟ සිටින්න ද? කොපමණ කල් ඔබ ගැන ඉවසන්න ද? ඔහු මා වෙත ගෙනෙන්නැ”යි වදාළ සේක.

18ජේසුස් වහන්සේ දුෂ්ටාත්මයට තරවටු කළ සේක. එවිට දුෂ්ටාත්මය ඔහුගෙන් දුරු ව ගියේ ය. ඒ මොහොතේ පටන් ළමයා සුවපත් විය.

19එවිට ශ්‍රාවකයෝ පෞද්ගලික ව ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ඒ දුෂ්ටාත්මය දුරු කරන්න අපට බැරි වූයේ මන්දැ”යි ඇසූහ.

20උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: “ඔබගේ ඇදහිල්ල මදිකම නිසා ය. සැබැවින් ම මම ඔබට කියමි: අබ මල් රේණුවක් පමණ වත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට, ‘මෙතැනින් එතැනට යව’යි කීවොත් එය යන්නේ ය; ඔබට නොකළ හැකි කිසිවක් නැත.”[5]

22ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවාදෙනු ලබන සේක.

23ඔව්හු එතුමාණන් මරන්නෝ ය. එහෙත් තුන් වන දා එතුමාණෝ උත්ථාන කරනු ලබන සේකැ”යි වදාළ සේක. ඒ ඇසූ ඔව්හු අතිශයින් ශෝක වූ හ.

24 ඔවුන් කපර්ණවුමට ආ කල දේව මාලිගා බද්ද අය කරන්නෝ පේදුරු වෙතට අවුත්, “ඔබගේ ගුරුදේවයන් දේව මාලිගා බද්ද ගෙවන්නේ නැද්දැ”යි ඇසූහ.

25“ගෙවන සේකැ”යි ඔහු කී ය. ඔහු ගෙට පිවිසි කල, යමක් කියන්න පෙර, ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “සීමොන්, මේ ගැන ඔබගේ අදහස කුමක් ද? මෙලොව රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන් ද? සිය සෙනඟගෙන් ද නොහොත් විදේශීන්ගෙන් දැ”යි ඇසූ සේක.

26“විදේශීන්ගෙන් ය”යි ඔහු කී කල, ජේසුස් වහන්සේ කතා කොට, “එසේ නම් ස්වදේශීය සෙනඟ නිදහස් ය.

27එහෙත්, අප ඔවුන්ට බාධාවක් නොවන පිණිස, ඔබ මුහුදට ගොස් බිළි බා, මුලින් ම අසුවන මාළුවා ගෙන, උගේ කට ඇරිය විට රිදී කාසියක් ඔබට සම්බ වන්නේ ය. එය ගෙන මා සහ ඔබ වෙනුවෙන් ඔවුන්ට දෙන්නැ”යි වදාළ සේක.

ticle>