1උන් වහන්සේ කන්දෙන් බැස ආ කල මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.
2එකල ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත්, වැඳ වැටී, “ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට පුළුවනැ”යි කී ය.
3උන් වහන්සේ අත දිගු කොට, ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍රවන්නැ”යි වදාළ සේක. එකෙණෙහි ම ඔහුගේ ලාදුරු රෝගය සුව විය.
4
5උන් වහන්සේ කපර්ණවුමට ඇතුළු වූ කල එක් ශතාධිපතියෙක් උන් වහන්සේ වෙත අවුත්, කන්නලවු කරමින්,
6“ස්වාමීනි, මාගේ මෙහෙකරුවා අංසබාග රෝගයෙන් දැඩි වේදනා විඳිමින් ගෙයි ඔත්පළ ව සිටී ය”යි කී ය.
7“මම අවුත් ඔහු සුව කරමි”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.
8ශතාධිපතියා උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මාගේ නිවසට පැමිණීමට තරම් මම නොවටිමි. වචන මාත්‍රයක් පැවසුව මැනව. එවිට මාගේ මෙහෙකරුවා සුව වනු ඇත.
9මන්ද, මම ද බලය ලත් අය යටතේ සිටින මිනිසෙක්මි. මා යටතේ ද හේවායෝ සිටිති. මා කෙනෙකුට, ‘යන්නැ’යි කී කල, ඔහු යන්නේ ය; කෙනෙකුට, ‘එන්නැ’යි කී කල, ඔහු එන්නේ ය. මාගේ දාසයාට, ‘මෙය කරන්නැ’යි කී කල ඔහු එය කරන්නේ ය”යි කීවේ ය.
10ජේසුස් වහන්සේ ඒ අසා විස්මිත ව තමා පසුපස්සේ ආ අයට කතා කොට, “සැබැවින් ම මම ඔබට කියමි, එක ම ඉශ්රායෙල් මිනිසෙකු තුළ වත් මෙතරම් මහත් ඇදහිල්ලක් මම නුදුටිමි.
11
12
13ජේසුස් වහන්සේ ශතාධිපතියාට කතා කොට, “යන්න, ඔබ අදහාගත් ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ දී ම මෙහෙකරුවා සුවපත් විය.
14ජේසුස් වහන්සේ පේදුරුගේ ගෙට ඇතුළු වූ කල ඔහුගේ බිරිඳගේ මව උණ රෝගයෙන් ඔත්පල ව සිටිනු දැක,
15ඇගේ අත ඇල්ලූ සේක. එවිට උණ බැස ගියේ ය. ඈ නැඟිට උන් වහන්සේට උපස්ථාන කළා ය.
16සවස් වූ කල දුෂ්ටාත්මාවේශ වූ බොහෝ දෙනෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ වචන මාත්‍රයකින් අශුද්ධාත්මයන් දුරු කළ සේක; රෝගාතුර වූ සියල්ලන් සුවපත් කළ සේක.
17
18ජේසුස් වහන්සේ මහා ජනකායක් තමන් පිරිවරා සිටිනු දැක මුහුදෙන් එගොඩ යන්න අණ දුන් සේක.
19එවිට විනයධරයෙක් පැමිණ, “ගුරුදේවයෙනි, ඔබ යන කොතැනකට වුව ද ඔබ කැටුව එන්නෙමි”යි උන් වහන්සේට කී ය.
20ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත්, මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට තැනක් නැතැ”යි ඔහුට වදාළ සේක.
21ශ්‍රාවකයින්ගෙන් තවත් කෙනෙක් කතා කරමින්, “ස්වාමීනි, පළමු කොට ගොස් මාගේ පියා භූමදාන කරන්න මට අවසර දුන මැනවැ”යි කී ය.
22ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා අනුව එන්න; මළවුන්ගේ භූමදානය මළවුන් ම කළාවේ”යයි ඔහුට වදාළ සේක.
23උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ.
24එවිට ඔරුව රැළ පතරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමී ය. උන් වහන්සේ ඔරුවේ සැතපී හුන් සේක.
25එවිට ඔව්හු අවුත්, උන් වහන්සේ අවදි කරවා, “ස්වාමීනි, අප ගැළෙව්ව මැනව; අප විනාශ වන්න ළඟ යැ”යි කී හ.
26උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.
27ඒ මනුෂ්‍යයෝ විස්මිත ව, “මෙතුමා කෙබඳු කෙනෙක් ද? සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරු වෙතැ”යි කී හ.
28උන් වහන්සේ එගොඩ ව, ගදරීන රටට පැමිණි කල, දුෂ්ටාත්මාවේශ වූ දෙදෙනෙක් සොහොන් ගෙවලින් නික්ම විත් උන් වහන්සේට මුණ ගැසුණාහ. ඔවුන් ඉතා දරුණු වූයෙන් ඒ පාරෙන් කිසිවෙකුට යන්න නොහැකි විය.
29ඔව්හු මොරගසමින්, “දෙවියන් වහන්සේගේ පුත්‍රය, ඔබ හා අප අතර මොන ගනුදෙනුවක් ද? නියමිත මොහොතට පළමුවෙන් අපට වද දෙන පිණිස මෙහි ආ සේක් දැ”යි කී හ.
30ඈතින් මහා ඌරු රැළක් ගොදුරුකමින් සිටියහ.
31දුෂ්ටාත්ම කතා කරමින්, “ඔබ අප දුරු කරන සේක් නම්, ඌරු රැළට වැහෙන්නට අප හැරිය මැනවැ”යි උන් වහන්සේගෙන් අයැද සිටියහ.
32“පලයව්” කියා උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. එවිට දුෂ්ටාත්ම පිට වී ගොස් ඌරන්ට වැහුණෝ ය. ඒ මුළු රැළ ප්‍රපාතයෙන් පහළ මුහුදට වේගයෙන් දිව ගොස් ජලයේ ගිලී මළෝ ය.
33ඌරු ගොවුවෝ පලා ගොස් නුවරට පැමිණ ඒ සියල්ල ද දුෂ්ටාත්මාවේශ වූවන්ට සිදුවූ දේ ද පැවසූ හ.
34එකල ඒ මුළු නුවර වැසියෝ ජේසුස් වහන්සේ හමු වීමට අවුත්, උන් වහන්සේ දැක, තමන්ගේ පළාතෙන් පිට වී යන ලෙස උන් වහන්සේගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියහ.