සෙකරියා 12:1-14 SINRV2006 - Bible AI

1සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ගැන කරන දිව්‍ය ප්‍රකාශනය මෙය වේ. අහස මැවූ, පො‍ළොවේ අත්තිවාරම දැමූ, මනුෂ්‍යයා තුළ ආත්මානුභාවය පිහිටෙවූ සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:

2“ජෙරුසලම, ඒ අවට ජාතීන් වෙරිමත් කරවන කුසලානක් සේ කරන්නෙමි. ඒ ජාතීන් ජෙරුසලම වටලන විට ජුදාහි සෙසු නගර ද වටලනු ලැබේ.

3මම ඒ දවස පැමිණි විට සියලු ජාතීන්ට ජෙරුසලම බර ගලක් මෙන් කරන්නෙමි. එය උස්සන්න යන ජාතිය බොහෝ සේ තුවාළ ලබන්නේ ය. ලෝකයේ සියලු ජාතීහු එයට විරුද්ධ ව එක්රැස් වෙති.

4සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඒ කාලයේ දී මම සියලු අශ්වයන් බිය ගන්වා අසරුවන් වියරු වැටෙන්න සලස්වන්නෙමි. එහෙත්, මම ජුදාහි සෙනඟ රැක බලාගෙන ඔවුන්ගේ සතුරන්ගේ අශ්වයන් අන්ධ කරන්නෙමි.

5එවිට ජුදාහි ගෝත්‍ර තම තමන් කතා කර ගනිමින්, ‘සියලු බලැති සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වසන සිය සෙනඟට ශක්තිය දෙන සේකැ’යි කියනු ඇත.

6“ඒ කාලයේ දී මම ජුදාහි ගෝත්‍රයන් වනලැහැබක නොහොත් ගොයම් ඇති කුඹුරක ගිනි හුලක් මෙන් ද පිදුරු මිටි අතර ගිනි පෙනෙල්ලක් මෙන් ද කරන්නෙමි. ඔව්හු සියලු ජාතීන් හාත්පසින් ම විනාශ කරන්නෝ ය. ජෙරුසලමේ සෙනඟ සිය නගරයෙහි සුරැකි ව සිටින්නෝ ය.

7“දාවිත්ගේ වංශයට හිමි මහිමය ද ජෙරුසලමේ වැසියන්ට ලැබෙන මහිමය ද ජුදාහි සෙසු කොටසට වඩා උසස් නොවන පිණිස මම පළමුකොට ජුදාවට ජය අත් පත් කර දෙන්නෙමි.

8ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වැසියන් ආරක්ෂා කරන සේක: ඔවුන් අතරෙහි සිටින දුබලයා පවා දාවිත් මෙන් ප්‍රබල වන්නේ ය. දාවිත්ගේ වංශය ද දෙවියන් වහන්සේ මෙන් ද සමිඳාණන් වහන්සේගේ දූතයා මෙන් ද ඔවුන්ට මඟ පෙන්වන්නේ ය.

9ඒ කාලයේ දී මම ජෙරුසලමට පහර දෙන්න උත්සාහ කරන හැම ජාතියක් ම විනාශ කරන්නෙමි.”

10 “මම දාවිත්ගේ වංශයට ද ජෙරුසලමේ සෙනඟට ද කරුණාවේ හා අයැදීමේ සිතක් දෙන්නෙමි. ඔව්හු තමන් විසින් ඇන තුවාළ කරන ලද්දා වූ තැනැත්තා දෙස බලා, නැති වූ එක ම පුත්‍රයා ගැන වැලපෙන අය මෙන් වැලපෙන්නෝ ය; එක ම පුත්‍රයා ගැන ශෝක වන්නාක් මෙන් ශෝක වන්නෝ ය.

11ඒ කාලයේ දී මෙගිද්දෝ සමභූමියෙහි දී හදද්-රිම්මොන් ගැන වැලපෙන්නාක් මෙන් ජෙරුසලමේ වැලපීම මහත් වන්නේ ය.

12දේශයෙහි එක එක ගෝත්‍ර වෙන් වෙන් වශයෙන් වැලපෙනු ඇත. දාවිත්ගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය. නාතාන්ගේ ගෝත්‍රයෙන් පැවත එන පුරුෂයෝ ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය.

13ලෙවීගේ පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද, ෂිමෙයි පෙළපතින් පැවත එන පුරුෂයෝ හා ඔවුන්ගේ භාර්යාවෝ ද

14සෙසු සියලු ගෝත්‍රවල අය ද ඔවුන්ගේ භාර්යාවෝ ද වෙන් වෙන් වශයෙන් වැලපෙන්නෝ ය.”